Sunday, March 29, 2015

සුදු කලු සහ අළු....





අන්ඃතයට පාවිගිය සිහින ලොවක නුඹ සතුටින්
හීන අහුරු තුරුළුකරන් ආ හැටි මා සමග සෙමින්
පියවි සිහිය අහිමි රැයක සිහිනය බිම වැටුන සොවින්
දැනෙනවාද පාළුව අද මා නැති විට සිහින තුලින්

හමනා සුළඟට මුසුවුනු අපේ පැතුම් සුවඳ මැදින්
දකිනවාද නුඹ මා රුව බොඳවුන සිතුවමක් ලෙසින්
ජීවිතයම පුදකරනට ඔබ ගිවිසපු වචන රැසින්
නටඹුන් වූ රුව දුටුවද නුඹ තැනු මාළිගා දොරින්

වෙනස උරුම ලොව පාමුළ නොවෙනස් වෙනසම මවමින්
කියාදුන්න පාඩම අද අකුරු කරමි සෙනෙහෙ සිතින්
ආදරයක නියම පැහැය සුදු කලු නොව අළු කියමින්
කියාදීල මට නුඹ අද හිනහෙනවද වියරු වෙසින්


කටුස්සා....

Wednesday, March 25, 2015

අප්පච්චී,මාමලා,බාප්පලා සහ දරුවෝ....




අප්පච්චී භාගෙට මළ දුක කිවුවහම
බලා සිනාසෙන උන් ටික දිහා බැළුවම
ඇඟේ මාලු ගඟේ නටන රඟ දුටුවහම
කුමක් කරම් මං අද මගෙ අප්ප නැතුවම

අප්පච්චිගෙ මිනිය තියන් අපි ඇඬුවහම
බාප්පලා මරණයෙ වැඩ කරගැහුවහම
අපේ උන්ගේ හිතේ දුකට උන්ට බැන්නම
උන් ගියෙ නෑ බාර ගත්තා මිනිය කරටම

අප්පච්චිගෙ ළමයි වෙච්ච අපිටත් නැති දුක
උන්ට දැනෙන්නේ කොහොමද කතා උනා රට
එදා වේල හම්බකරන් කාපු එවුන් කොට
උන් කොහොමද දාලා යන්නෙ බූරු පිටියෙ රස

බූරු පිටිය බාර ගත්තේ ගමේ උපාසක
උපාසකට පිටිපස්සෙන් ලොකු මාමල රැල
පුල්ලි තියපු කොලත් එක්ක සෙල්ලම් කරනට
උන්ට නොහැක අප්පච්චිනෙ දන්නේ පිටියෙ රඟ

නොහැකිව නිසි පළපුරුද්ද බූරු ගහන්නට
චන්ඩි උනේ බූරු පිටියේ බාප්පලා ටික
කටින් නොහැක බූරු පිටියෙ ලොක්කන් වීමට
මාමල රැල පච වෙනවනෙ බාප්පලා මැද

පෙරුම්පුරල අතට ගත්ත කුට්ටම දෙන්නට
මාමල ටික කොහොමටවත් කැමති වුනේ නැත
අප්පගෙ රස කෑම නැතිව තනිවුන පවුලට
කොක්ක ගැහුව හීන් සැරේ ලොකු මාමල ටික


ෆ්‍රයිඩ් රයිස් කාපු අපිට රතු බත් හුරු නැත
දිව හුරු රස කෑම එක්ක අපිට ඕනේ දත
බාප්පලට නොහැක දෙන්න උන්ලඟ නෑ අත
මාමලාට එකතු වෙන්න යමු මල්ලියෙ හෙට

බාප්පලා කෑ ගසාවි උන්ව ඕනෙ නැත
කෑ ගසනා සැරට උන්ගෙ ලබ්බ බහියි යට
ඒ වගේද මාමලාගේ ෆ්‍රයිඩ් රයිස් රස
මාමලාට එකතු වෙලා තෝන් ගනිමු හෙට

අප්පච්චිගෙ මිනිය ඔහොම තියන් ඉඳිමු අප
මිනිය තියනකන් පිටියත් දුවයි සැරට වට
බාප්පලත් වටේ ඉදන් කෑමොර දුන්නට
හිතන්නෙපා උන් ගැන උඹ උන් කොහි යන්නද

පොඩි උන් ටික ගැන නොහිතා රසකර කෑවට
ඒ තරහට උන් ටික දැන් බාප්පලට ලව
බියනොමවන් මල්ලියේ උඹ උන් කෑගහුවට
පාත්වුනේ කවදද කදු බල්ලෝ බිරුවට



මතු සම්බන්දයි



කටුස්සා....

Tuesday, March 24, 2015

REVOLUTION 2020


වාරාණසි නුවර
දැල්වේවී පහන් දහස් දස දහස් ගනන්
හෙටත් අනිද්දාත්
ඒත් ඒ පහන් පරදීවී
එළියට උඹේ හදවතේ
ගෝපාල් මිශ්‍රා....


රතු රිබන් පටිය පැළඳ ආ
5-C පන්තියේ
ආරතී ප්‍රතාප්
වෙනස්කලේ නෑ උඹේ ජීවිතේ
වෙනස්කලේ උඹමයි
උඹේ හිත ඇතුලේ හිටපු
ප්‍රේමයේ දේව දූතයමයි
ගෝපාල් මිශ්‍රා....


මුදලාළි කෙනෙක් විකුණන අනාගතය
උඹ වගේම අරමුණක් නැති තව අයට
ෂුක්ලා ජී ගේ සුරතලා....
තව නම් ගොඩක් කියාවි උඹට
ඒත් ඒ එකෙක්වත්
දකින්නේ නැතිවේවි
මිත්‍රත්වයේ,ආදරයේ,හෘද සාක්ෂියේ දේව දූතයා
උඹේ හිත ඇතුලේ උන්....


රාගව් තමයි මිනිහා
වාරාණසියට පමණක් නොව ඉංදියාවටම
සටන්කරනා අයුක්තියට එරෙහිව
කවදා වීරයෙක් වෙයිද උඹ....
රොශිනි,පූජා සමගින්
මවා පා ත්‍රි'සම් නාටකය
බිඳ දමා ආදරය ඇගෙ සිතේ
රාග
ව්ට සාධාරණයක් කල නුඹව....















Revolution 2020-chetan bhagat
                            චේතන් බගත්

සිංහල පරිවර්තනය- දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ
                                               දිලීප ජයකොඩි

Sunday, March 22, 2015

බාඳුරා සිහිනය



සුභ සිහින මැවෙන ඔබ සෙවනේ රැදෙන්නට තරම්
නුඹ තුරුලේ සුව උණුසුම දැනෙන්නට තරම්
කඳුළු පිසින නුඹ වදනට මියෙන්නට තරම්
මට දැනෙන හැඟුම පහදා දෙනු මැනවි ලන්කරන්


මම ඔබට කියන කවි ඔබහට දැනෙන්නට තරම්
මගේ තුරුලේ සුව යහනක් මැවෙන්නට තරම්
මා මුමුණන වදනට ඔය සිත නිවෙන්නට තරම්
පවසනවද මගෙ ආලය ඔබ විඳින තරම්


මා දෙනෙත මතට යොමන දෙනෙත මා සොයන තරම්
ඔබ දන්නවාද ඒ බැල්මට හිත දවන තරම්

ඔය දෙනෙත් මතට කිමිදෙන මම මා දකින තරම්
ඔබ දන්නවාද ඒ දෙනෙතට ලොබ බඳින තරම්



නුඹ පුලුල් උරය මගෙ ලමැදේ සුව සොයන තරම්
ඔබ දන්නවාද මගෙ සියොළඟ කිති කැවෙන තරම්

ඔබ ඉඟ රැළි ඇගිලි තුඩට සුව ගෙනෙන තරම්
ඔබ දන්නවාද නුඹ සුසුමින් මා සැලෙන තරම්



කටුස්සා....

Thursday, March 19, 2015

ගමම දැක්ක 'මීචා'.



කටුස්සා පොඩිකාලේ හෙන අහින්සක ඩෑල් එකක්ය.සින්හළෙන් කිවුවොත් මෙලෝ රහක් නැති එකෙක්ය.එකෙක් වම් කම්මුලට ගැසුවොත් දකුණද ඇල්ලීමට තරම් 'නිහතමානී' දරුවෙකි.එහෙත් එකෙක්වත් කටුස්සාට පහර දීමට නොපැමිනියේ ඒ පෘශ්ටිමත් බාහුවෙන් පහරක් කා ඉවසීමට අසීරු'යැයි සිතූ නිසා වියහැක.ඒ කොල්ලන්ය.කෙල්ලෝනම් එසේ සිතුවේ නැත.කටුස්සා 1 වසරේ සිට 3 වසර තෙක් පන්තියේ ඉඳගන සිටියේ එකල පන්තිබාර ගුරුතුමිය වූ "සිරිලා ටීචර්" ගේ දියණිය වූ "කෝකිළා"සමගින්ය.ඇය කෙල්ළෙක් වූවේ උප්පැන්නට පමණි.එකල ඇගේ චරිත ලක්ශන සියල්ල සමානවූවේ චොප්පේ අයියාටය.ඉතින් එකල නිතරම පාහේ ඇගෙන් ගුටිකෑම,කොනිති ගැසීමට ලක්වීම කටුස්සාට හුස්මගන්නවා සේ හුරුපුරුදු දෙයකි.4 වසරේදී ඇය වෙනත් පන්තියකට මාරු වූ නමුදු කටුස්සාගේ ඒරාශ්ඨකය නිමා නොවුනි.4-5 වසරේදී කටුස්සාගේ ජීවිතයේ අපලය වූවේ "ලෂානි"ය.කෝකිලා චොප්පෙනම් ඇය නාවල නිහාල්ය.ඇගෙන් ගුටිකා කටුස්සා අඩා ඇති බවද ඇගේ මව විසින් දැනුදු කියන්නේ කටුස්සාව සම්පූර්නයෙන්ම නිරුවත් කරමිනි.උසස්පෙළ අවදියේ මැරවැඩ නිසා සති ගනන් පන්ති තහනම් වී සිටියද කටුස්සා කුඩාකල සිටියේ එලෙසය.මේ කියන්නේ එලෙස ලාමක ටින් ටින් කටුස්සා සිදුකරනු ලැබූ මේ වනතෙක් කිසිඳු වැඩිහිටියකු නොදන්නා පඩත්තර ක්‍රියාවක විස්තරයකි.

කටුස්සා 5 වසර තෙක් අධ්‍යාපනය ලැබු පාසලේ ක්‍රීඩා පිටිය තිබුනේ පාසල පිහිටි බිම් මට්ටමට වඩා අඩි 15-20ක්පමණ පහතිනි.එයට යාමට පිට්ටනිය මැද්දෙන් විශාල සිමෙන්ති පඩිපෙළක් තිබූ අතර වාහනයක් පිට්ටනියට රැගෙන යා හැකි පරිදී පැත්තකින් පාරක් කපා තිබිනි.පඩිපෙලට දෙපැත්තෙන් සෝදායාම වැලක්වීමට විශාල පඩිමෙන් කට්ටා කපා තිබුනි.විවේකයට,පාසල නිම වූ පසුව ඇට්ටර කොල්ලෝ එම කට්ටා මතට බැස කටුස්සා වෙනි පීචන් කොල්ලන්ට වැඩ පෙන්නති.අපිද උන් දෙස කට ඇරගන බලා සිටියෙමු.එකල කටුස්සා 2ක වසරේය.පාසල නිමවු පසු කටුස්සාව රැගෙනයාමට මව පැමිනෙන නමුදු සමහර දිනවල කටුස්සාගේ වැඩිමහල් සොයුරියගේ පාසල නිමවෙන තෙක් කටුස්සා පාසලේ රැදීසිටියි.මෙ
සිදුවීම සිදුවූවේද එවන් දවසකය.සොයුරියගේ පාසල නිමවනතෙක් මා වෙනිම  රැදීසිටි අනික් එකාලා හා එකීලා සමගින් ක්‍රීඩාකර හෙම්බත්වී සිටි කටුස්සා පිට්ටනියේ ඉහත සදහන් කල කට්ටා  පඩිපෙලේ ඉහලම පඩිපෙලට වී ඉදගන ආතල් එකේ කකුල් දෙකද වනමින් සිටියෙමි.කලබලයෙන් එතනට දිවා අවේ මා මෙන්ම ඉහල පන්ති නිමවන තෙක් පාසලේ ලගා ගසමින් සිටි 1 වසරේ පොඩි එකෙකි.එක වසරේ පොඩි උන්ගේ නම අලවා ඇති බැජ් එකක් උන්ගේ කමිසයේ ගසා ඇති නිසා ඌ එක වසරේ බව වහා හදුනාගත හැක.
"අයියේ....ටොයිලට් එක කොහේද තියෙන්නේ....?"
"මොකටද?"
"චූ කරන්න"
"තමුසේ ඒක තියන තැනවත් දන්නේ නැද්ද?"
"මම ඊයේ අළුතින් ආවේ"
"එහෙනම් ඔය පඩි පෙලට බැහැලා චූ කරනවා.ඔයාට ටොයිලට් එක හොයාගන්න බෑ....මොනවද බලන් ඉන්නේ...යනවා කවුරුත් එන්න ඉස්සල්ලා"
අනේ ඉතින් පොඩි එකත් දෙවනි කට්ටට බැහැලා මට පෙනෙයි කියල වෙන්න ඇති පිට්ටනිය පැත්තට හැරිලා චූ කරනවා.මම අදත් දන්නේ නෑ මම කොහොම එහෙම කරන්න හිත හදා ගත්තද කියලා.මම එක පාරටම හිටගන මට පහලින් චූ කරකර හිටපු පො
ඩි කාගේ ඔළුවට චූ කලා.
මට හොදට මතකයි මම චූ කරන්න පටන් අරන් තප්පර 3-4ට විතර පස්සේ ඌ මගේ දිහා බලපු විදිහ ඇස්ලොකු කරගන.ඒ වුනාට  එතනින් අයින් වුනෙත් නෑ.ඒ එහෙ මෙහෙ වෙද්දි අර පඩිපෙල් කට්ට වලින් වැටෙයි කියල බහ හිතිල වෙන්න ඇති.මම ඉතින් මගේ බර සම්පූර්ණයෙන්ම හිස් කරලා බෑග් එකත් අරගන දුවල ගියා ඉස්කෝලේ ඉස්සරහා පැත්තට.වැඩිවෙලා නොගිහොන් අක්කලත් ආවා.පහුවදා ආපහු ඉස්කෝලේ එනකොටත් මට කිසි බයක් තිබ්බෙත් නෑ.අනේ මන්දා ඇයි කියලා.ඒත් ඉස්කෝලෙට ආවට පස්සෙනේ හුට්ටප්පරේ.1-2-3 වසරේ මිස්ලා තැන තැන කසු කුසුව.බඩු බනිස් කියලා කටුස්සාගේ සිඟිති මොළේට තේරුනා.දැන්නම් කටුස්සා ඉහින් කනින් දාඩිය දාගන මරන්න ගෙනියන මී හරකෙක් වගේ ඉදගන ඉන්නවා කෝකිළත් එක්ක.සිරිල ටීචර් පන්තියට ආවා.බැළුවා හැමෝගෙම මූණු දිහා.
"මගේ පන්තියේනම් හවසට ඉන්න ළමයි නෑ"
එහා පන්තියේ ටීචර්ට ඇහෙන්න හයියෙන් කිවුවා.වැඩේ ෆිනිශ්.කටුස්සා බේරුනා.ඒ කාලේ මම කෙල්ලෙක් රේප් කලත් ,මම නෙමෙයි කෙල්ල තමයි ඇවිත් රේප් වුනේ කියලා කට්ටිය කියයි මම හිටපු විදිහට.මට අදත් හිතගන්න බැරි දේ තමයි පාඩුවේ හිටපු මම එහෙම පජාත වැඩක් කරන්න පෙළඹුනේ කොහොමද කියන එක.



කටුස්සා කුඩා කල සිට පුරුදු පුහුණු වූ කටුස්සාට ආවේනික වචන කීපයක් ඇත."සිකෙස්" යනුවෙන් හදුන්වන්නේ සීනි කෙසල්ය.එය කටුස්සාගේ ප්‍රියතම කෑමකි.කුඩා කල එයට කෙතරම් ආශාකලාදැයි කිවහොත් කවුරුන් හෝ වැඩිහිටියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දී ඇති කටුස්සා පවසා ඇත්තේ රැකියාවක්කර ලබාගන්නා පළමු පඩියෙන් සීනි කෙසල් කැනක් මිලදී ගන්නා බවය.කටුස්සාගේ නැන්දාගේ නම ලක්ශ්මී ය.සැවොම එසේ ඇයට අමතද්දී කටුස්සාට පළමුව ඇය "පකී" විය.පසුව "කකී"වී අවසන"ලකී " විය.තවමත් කිසිම දිනක ඇයට නැන්දා යනුවෙන් අමතා නැත.අනිකුත් වැදගත්ම වචනය වුනේ "මීචා" ලෙස අහවල් අවයවට ගෙතූ නමය.කිසිවකු එයට මීචා යනුවෙන් අමතනවා අදද මා අසා නැත.
මෙම සිදුවීම සිදු වූවේද කටුස්සා 1 වසරේ සිටියදීය.කටුස්සාගේ නිවස පිටුපස පිහිටා තිබුනේ පියාගේ ව්‍යාපාරයේ වැඩපොළය.වසරේ වැඩි දින ගනනක් 7-8ක් පමන දෙනා සේවයකල මෙහි සමහර කාල වලදී 15ක් පමණද සේවය කර ඇත.එම කාලයේ  "සින්දුවක්" කීමට වුවමනා වූ විට බාත් රූම් එකට රින්ගා එය කීමට වඩා කැමතිවුනේ ගහක් යටට ගොස් හුළන් පහස විඳමින් එය කීමටය.එහෙත් නිවසේදී එය එසේ කිරීමට අපහසුවූවේ වැඩපොළේ වැඩකරන හැතිකරේ එය දුටුවිට කටුස්සාට හූ කීම නිසාය.
එදාද ගෙමිදුලේ කැරකෙමින් සිටින විට කටුස්සාට චූ බරක් සෑදුනි.වට පිට බැලූවිට දැක ගන්නට ලැබුනේ වැඩපොළේ වැඩ සවස තේ වලට නවතා ඇති බවය.දැන් කාගෙන් තහනමක්ද.....නිදහසේ වැඩේ කරමින් සිටින විට වැඩපොළ ඇතුලෙන් හූ හඬකි.තවත් සිටියොත් හූ හඬ වැඩිවන බව අත්දැකීමෙන්ම දන්නා කටුස්සා කකුලේ පෙරි පෙරිම මීචාව කලිසම තුලට රුවා 'ශිපරය' වැසීය.අහෝ දුකකි,ඉරකි,තිතකි.ශිපරය හා මීචා අළුත් ගේමක් ගසා ඇත.වැඩිය දගලන්නත් බැරිය.වැඩපොලේ අයට පෙනෙනවාය.වහාම ගෙට දුවගොස් අම්මාට කෑ ගැසුවේය.
"අම්මේ.....මේ......මීචා.......අහුවෙලෝ......"
වහා දිව ආ අම්මා කොල්ලාගේ අනාගතය බේරා ගැනීමේ ක්‍රියාවීන්තයට මුල පිරුවාය.එහාට සෙලෙවුවාය.මෙහාට සෙලෙවුවාය.කටුස්සාට දැන් තරු පෙනෙනවාය.විනාඩි 10ක් පමණ ඉවසා සිටියමුත් ඒ වේදනාව තවත් ඉවසාගත නොහැකිව කටුස්සා බෙරිහන් දීමට පටන්ගත්තේය.ඒ හඬට දිව ආ තාත්තා සිද්දිය වටහාගන නැවත ඔහුගේ කාමරයට ගොස් ආපසු ආවේ අඩුවක්ද රැගෙනය.හරි.මෙච්චරකල් කාටවත් වදයක් නොවී කකුල් දෙක මැද්දේ එල්ලි එල්ලි .හිටපු මීචා....අද ගලවල දාන්නමද කොහේද හදන්නේ......බෙරිහන්දීම දෙගුන විය.නොයෙක් සැනසිලිබස් කියමින් මීචාව ගැලවීමට අඩුවක්ද රැගෙන එන තාත්තාය.අනික්පසින් කටුස්සාගේ අත්දෙක අල්ලාගන දැගලිල්ල පාලනය කිරීමට වෙර දරන අම්මාය.සියල්ලටම වඩා ඉවසාගත නොහැකිවුවේ කටුස්සාගේ බෙරිහන් දීමට නිවසට දිව ආ වැඩපොලේ සේවක පිරිසය.
"අනේ......මේ අයට යන්න කියන්න....ඒ ගොල්ලෝ හූකියායියියි........."
"පොඩ්ඩක් ඉන්න ළමයෝ.....කෝ...මේ තාත්තට ඕක ගලවන්න දෙන්නකෝ...."
"විජිත අයියේ....ඔය අඬුව හරියන්නේ නෑ....ආ....මේ අඬුව ගන්න...."
"චූටි පුතා...ඔයා ශිප් එක උඩට උස්සන්න ගිහින්ද ඕක වුනේ....පහත් කරද්දිද ඕක වුනේ...?"
"ඕකට ඔය අඬු හරියන්නේ නෑ...ඕකට වඩා හීනි එකක් තිබුනනන් හරි"
"අර දියෝනිස් අයියලගේ නිහාල් රට ගිහින් එනකොට ගෙනාපු ආයුධ වගයක් තියනවා විකුනනවා කිය කිය....එතනනම් තිබ්බා එක එක ජාතියේ අඬු"
"මම ගිහින් එනකම් මුකුත් කරන්නේ නැතුව ඉන්න.මම ඉක්මනට එනවා...."
"මොකද අක්කේ උනේ.....කෝ විජිත...."
"බලන්නකෝ චූටි මල්ලි මේ ළමයා කරගන තියන වැඩේ...විජිත ගියා දියෝනිස් අයියලගේ ගෙදර....අඬු වගයක් තියනවා කියලා අරගන එන්න...."
"කෝ...චූටි පුතා....අඩන්නේ නැතුව ඉන්නකෝ....මම පොඩ්ඩක් බලන්නම්...."
"මේ කලිසම ගැලෙවුවනම් හරි.....ශිපර් එක ඉතුරුකරලා වටේට  කපමු...."
බඩුම තමයි.ඉතුරුවෙලා තිබුනේ එච්චරයි.ඒකත් ට්‍රයිකරලා ගැලෙවුවා.....
මම ටිකක් ඔළුව කෙලින්කරලා බැළුවා.අම්මෝ....අල්ලපු ගෙදර ලක්මිණී,ප්‍රසන්සා අක්කලා,ඒ අයගේ අම්මා,මෙහා ගෙදර අඹතලේ නැන්දා,සිඟිති අක්කා,තිසුම් අයියා,ඉස්සරහ ගෙදර කට්ටියම,තව ගමේ අය 7-8 දෙනෙක්,වැඩපොළේ කට්ටිය.....ඒ ඔක්කොම ඉස්සරහ කටුස්සා නිරුවතින්...ලැජ්ජාව වහගන්න ඉතුරුවෙලා තියෙන්නේ මීචා උඩ ඉතුරුවෙලා තියන ශිප් එක විතරයි.
"චූටා....මොකෝ වුනේ....තාම ඕක හරියට කරගන්න බැරිද?"
"මේ පොඩි එකා ශිප් එක අහුකරන් බන්"

"කවුද,,,චූටි පුතාද?අරෙහෙ රොබා කිය කිය ඇවිදිනවා චූටි මල්ලී ශිප් එකට අහුකරන් කියලා....කොල්ලෝ ටික ඔක්කොම මග එනවා රාජගේ ලොරියේ උඹව බලන්න..."
"ඔය හු....ගේ පුතා ඔහොම්මම තමයි.....හැම එකක්ම විහිළු ඌට...."
හරි තව කට්ටියක් එනවළු මගේ මීචා බලන්න...
"අන්න...විජිත ආවා.....අඬු තිබ්බද?"
"විකුණන්න ගෙනත් තියෙන්නේ....මම 5ක් ගෙනාවා සල්ලි වලට"
"අනේ පුතේ දගලන්නෙ නැතුව ඉන්නකෝ....තව ටිකයිනේ..."
දැන්නම් අඩන්නත් පන නෑ....උඹලට ඕනේ එකක් කරපන්කෝ....කටුස්සා ඉඳගත්තා පුටුවක.
"අනේ පුතේ...ඔහොම හිටියහම කොහොමද මේක ගලවන්නේ...හොඳ පුතා වගේ හිටගන්නකෝ....."

"මට බෑ...මගේ කකුල් දෙක රිදෙනවා..."
"හා එහෙනම්....ඇදේ ඇලවෙන්න.....මේ දිහා නොබල ඉන්න....අපි මේක කරන්නම්..."
එහෙම කොහොමද....මේක මගේ මීචානේ...මටනේ රිදෙන්නේ....මම අමාරුවෙන් ඔළුව ඉස්සුවා ඒ කරන එක දිහා බලන්න.හුටා....ඉස්සල්ලා 20ක් විතර හිටපු අය දැන් 60ක් විතර කාමරේ ඉදන් මේ ඔපරේසම දිහා බලන් ඉන්නවා.තිලක් මාමා ටෝර්ච් එක ගහගන.තාත්තා අඩුවක් තියාගන මගේ මීචාව අල්ලගන.අම්මයි ලකීයි මගේ අත් අල්ලගන.ලොකු නැන්දා කම්මුලට අත තියාගන ඉකි ගහනවා,මල්ලිගේ පරම්පරාව ඉවරයි කියල හිතලා වෙන්න ඇති.තව අදුරන නාදුනන ගොඩක් ඇද වටේ.යකෝ...ඔක්කොම මගේ මීචා දිහා බලන් ඉදිද්දී මම විතරක් කටවහන් ඉන්නේ කොහොමද?පටන්ගනින් මගෙ අම්මා...තව හයියෙන්....
"මට බෑ...ආආවුවුවු.....රිදෙනවෝ......බැරියෝ......."
"ඕක හරියන්නේ නෑ...ළමයව ඉස්පිරිතාලේ අරන් යමු...."ඒ සාජන් අන්කල්.පස්සේ කාලෙක දැනගත්ත විදිහට සාජන් අන්කල් පොලීසියෙන් විශ්‍රාමගිහින් ඒ වෙනකොට නාරහෙන්පිට ආසිරි රෝහලේ වැඩකරනවාළු.
"විජිත...යමු ආසිරි එකට...මාත් එන්නම්...."
තුවායක් අන්දලා ගුනදාස අන්කල්ගේ වෑන් එකේ කටුස්සව පටෝගත්ත කට්ටිය ඔන්න ගියා ආසිරි එකට.ටික වෙලාවකින් කටුස්සාව රෝද පුටුවක දාගන ඇදක තිබ්බා.දොස්තරලා දෙන්නෙක් හිටියා.තව නර්ස්ලත් වට කරගන හිටියා.එක ඩොකෙක් මීචව අල්ලගන ශිප් එක හෙමින් හෙමින් කටුස්සටත් නොදනෙන්න හෙල්ලුවා.
"මට කියත් තලයක් අරගන එන්න".ඒකා නර්ස් කෙනෙක්ට කිවුවා.දැන්නම් බඩු ශුවර්.මීචා නැතුව තමයි යන්න වෙන්නේ.කියත් තලවලින් යකඩ කපන හැටි වැඩපොලේදී ඕන තරම් දැකල තිබුන මට දැන් වෙන්න යන දේ හොදටම පැහැදිලියි.මූණ බෙරිවෙන්න ඇති අනිවාර්යයෙන්ම.හැබැයි ඇඬුවේ නෑ.අදුනන්නේ නැති කට්ටියක් මැද්දේ ඉදන් කොහොමද අඬන්නේ....
"බය වෙන්න එපා පුතා....ඉක්මනට මේක හරියනවා....අපි මේක ගලවමුකෝ..."
ඩොකා එහෙම කිය කිය හෙමින් සැරේ ශිප් එක හොල්ලනවා.
"ටිකිස්" ...වැඩේ හරි.....මෙන්න ශිප් එක ඩොකාගේ අතේ.කට්ටියගෙ
මූණුවල හිනාව පිරිලා.
"අනේ ඩොක්ටර්...කොහොමද ඒක කලේ....?"
නර්ස්ලා ටික ඩොකාගේ කරේ.ඩොකා පොර වෙලා හිනා වෙවී ඉන්නවා.
"කෝ බලන්න...".නර්ස් කෙනෙක් එබිලා මගේ මීචා දිහා බලනවා...හරියට එයාගේ එක වගේ.

මගෙත් මොකෝ...ඒ අයනේ මේක ගැලෙවුවේ.ඉතින් ඇත් තරම් බලා ගත්තදෙන්...
කට්ටියම බැළුවට පස්සේ මීචා හිටියා වගේ 4-5 ගුණයක් ලොකුවෙන තරමට බෙහෙත් දාලා ප්ලාස්ටර් එතුවා.ඉස්සරහින් හිලක් තියල තිබුනා චූ කරන්න.කටුස්සා දැන් රෝද පුටුවට වෙලා ඉන්නවා තාත්තා බිල ගෙවල එනකම් අම්මා එක්ක.අනේ එතකොට අර කියත්තලය හොයාගන ගිය නර්ස් එනවා දුවගන.
"අනේ මම කියත්තලයක් හොයන්න ගියානේ...ගැලෙවුවළු නේද?...මට බලන්න බැරි වුනානේ...කෝ බලන්න....."
අනේ මම කොහොමද ඒ ඉල්ලීම අහක දාන්නේ.කටුස්සා ඉක්මනට තුවාය ඈත්කරලා ඒ නර්ස්ටත් පෙන්නුවා.කටුස්සාගේ අම්මා තාමත් ඕක මතක් කරලා කියවනවා තෝ මහ එපා කරපු එකෙක්කියලා.
ඔන්න ඔහොමළු කටුස්සා තමන්ගේ මීචා ගමටම පෙන්නලා ඒකත් රැකගන ආපහු ගෙදර ආවේ.....



කටුස්සා....

Monday, March 16, 2015

හිමියනි.....



දණින් වැටී සුදු දෙපා ඉඹින්නට
මට හිමි නැති වාසනා පැයේ
හිමියනි නුඹගැන වීර පදක්කම්
ගෙල පළඳා කුමකටද අගේ

මේ දෙතොළැලි ඔය නළලේ තියලා
නුඹ උරයේ දඟ කරපු පැයේ
මේ සෙනෙහස අඩුවෙන් දැනුනාදෝ
මා තනිකර යුධ බිමට ගියේ

සුදු අප්පච්චී කෝ අපෙ අම්මේ
පොඩි දූ වද දෙනවානෙ ප්‍රියේ
තවත් බොරුකියා බෑ රවටන්නට
ඔයා එන්න උණුහුමට අපේ

යුගල ඇදක තනි යහන නිදන්නට
මා කල පවු කෙතරම්ද දැනේ
එහෙ මෙහෙ පෙරළී ඔබෙ රුව සෙවුවා
හිමි නැතිදා නිදිමරන රැයේ


ඔයා නොඑන්නට දූයි මායි කල
වරදද අපෙ ආදරය වුනේ
ඔය තුරුලට අපි දෙන්නා එන්නම්
සමාවෙන්න රත්තරන් මගේ



කටුස්සා....


Wednesday, March 11, 2015

නැවතත් නෑවිත් හිඳිනා......




ලස්සන වදන් අමුණා මුතු කවියකට
දවසක ඔබේ හිත් ඉල්ලා කළ පවට
පෑරී රිදී රැවටී අඬලා දුකට
ගිලිහුණු පැතුම් විසිරී වැටුනා බරට

එක හිත් පතා පොඩි වරදක් කෙරුවාට
තාමත් ලියමි කවි මල් නුඹගේ නමට
සිහිනෙන් ඇවිත් රහසින් නුඹ ඉම්බාට
දඬුවම් දෙනු එපා ඉහිළුම් නෑ  සිතට

තනියට ඇවිත් මග පෙන්වාළු පිනට
මිය යන්නට හිතයි සතුටක් දී නුඹට
සසරේ ඇවිද මේ පාරමි පිරුවාට
කිසිදා නොයමි අහිතින් නුඹ ගැන දුරට

පැටලී දෑත් උඩමළුවේ පෝ දාට
සිඹ මගෙ කොපුල් හැන්ගී දඟ කෙරුවාට
තාමත් හිදිමි පුරහඳ එක්කල රෑට
ඔබ දුර එතැයි සිතමින් බල බල ගාට

තෙරපෙයි තවම සිතුවිළි හොරයින් පාට
ළමැදට තුරුල් වී ඉන්නද තනිවාට
වෙන්වී ඉන්න සමුදිය නොහැකිද අපිට
පුදුමයි හිතත් මේ මහ දුක දැරුවාට

කඳුළැලි හෙලන්නට අවසර නෑ නෙතට
අමතක කරමි ඕනේ නෑ හිතුවාට
දවසක ඇවිත් මගෙ පාළුව මැකුවාට

බුදුන් දකින පින අත්වෙනවා නුඹට


කටුස්සා....

Monday, March 9, 2015

ඔබ....



තෙත වැදී පුස්කාපූ නෙතු අගට නොකියාම
ඉරි තැලී වියළි ගිය දෙතොල පෑ සිනහ බිඳ
ඇළුම්කල මා සිතින් සුරකින්න හැමදාම
ලඟ ඉන්න දුර නොයා විඳ විඳම මා සුවඳ

මල් පිපී සිනාසුන නිමේශෙක හමුනොවුන
වියළිබිම මත ඇදුන සිසිල් දිය මගකි නුඹ
ලන්නොවී විඳගන්න සිතුවමුත් දෙනෙත් මග
අනේ පුදුමයි මටම දියට බට මා ගැනම

සන්සුන්ය දිවි පෙවෙත නොමැති කිසි දඟ තාල
රැවටුනෙමි පෙර එදා ඇගේ ලග නිසල සිත
දඟකාර නුඹේ හද පතුලෙ රැඳි මිනිස්කම
සුවඳ විදි මගෙ සිතින් කෙසේනම් හැරයම්ද

සුරකිම්ය නුබව මම මගේ මුළු දිවිය ලෙස
හැරදමමි මගේ සිත් රැදුන හැම සෙවනැලිම
දුක් නොදෙමි කිසි දිනක ඔය නෙතට කඳුළු එන
ඉපදුනෙමි නැවත මම නුඹලගදි සෙනෙහෙ විඳ

කටුස්සා....

Friday, March 6, 2015

සැපත.....



සිනාසෙන නුඹෙ මුහුණ
හීනෙනුත් පෙනෙන කොට....
කොහොම පැකිළෙම්ද මම
නගින්නට දිවිමගේ
සැටරිමක මුදුනටම....

නුඹේ කතා දෙසවනේ
නිම්නාද නැගෙන සඳ....
යකඩ මිටි කුළු හඬට
කෙසේනම් වසන්නද
මගේ දෙසවන දිනක....

ඉවසම්ය හැම දුකම
විඳින දිවි තුරාවට....
දුකක් නොව සැපයක්ය
තුරුළුවන විට දැනෙන
දුවේ නුඹ සුවඳ ලග....

යා යුතුය බොහෝ දුර
කැටුව නුඹ අතනෑර....
එයටමයි වෙහෙසෙන්නේ
නැතුව හුරු සුවඳ ලඟ....
මා හෙලන සුසුම් අද
තනිව හිඳ යහන මත
නුහුරු හුරු නගරයක....
හඳුනගන දිනක හෙට

එපා දුක්වන්න නුඹ....
තාත්තා යන වදන
අරුත් වැටහෙයි එදින....

අවැසි නැත මට දිනක
දිනන්නට ලෝකයම....
දිනූ පසු නුබ ලොවම
වැළඳ මා සිඹ මුහුණ
පවසපන් "තාත්තේ"යි
කියා ඒ ඇතිය මට.......



කටුස්සා....

පසු සටහන-

සති දෙකකට වැඩි කාලයක් අන්තර්ජාලයෙන් ඈත්වෙලා වින්දේ නිදහසක්ද අපහසුවක්ද කියලා තාම හොයනවා.ඒත් ඒ කාලයේදී මම ආපහු ඇස් ඇරල බලන්න පුරුදුවුනා කියන එකනම් බොරුවක් නෙමෙයි.ඉස්සර වගේම නිදහසේ පොත් කියෙවුවා.රූපවාහිනිය නැරඹුවා.අවුරුදු දෙකක් තිස්සේ හිටියත් මේ පැත්තේ නොගිහින් හිටිය පලාත්වලට ගියා.වේලස්සන නිදා ගත්තා.පාඩුවේ ඇස් වහගන සින්දු ඇහුවා.ඒ අස්සේම තාත්තා කරපු දේ නොකලොත් නොට්ටිගේ පුතා කියල අහන්න වෙන නින්දාවෙනුත් ගැලවුනා.තාත්තා තරම් නොවුනත් ඒ ආසන්නයටම යන්න පුතාට පුළුවන් වුනා.අනාගතේ තරමක් නොපැහැදිලි වුනත් සුනිල් එදිරිසින්හයන්ගේ "සියල්ල ඉදිරී ගරා වැටුන දා" අහගන ඉස්සරට වඩා සැනසීමෙන් ඉන්නවා.හරි...ඒකතා ඉවරයි.

දැනට සති 3ට විතර කලින් මේ බ්ලොග් ලෝකයෙන් මුනගැහුන මිත්‍රයෙක් සමග ප්‍රථම වතාවට දුරකතනයෙන් කතාකලා.ටිකක් වෙන්න අනුමත වෙලා හිටපු ඔහුත් සමග කතාකරන වෙලාවේ ගෙදර ආවහම සෙට් වෙන්නත් කතාකරගත්තා.එතනදී ඔහු පැවසුවේ "උඹ එනවනම් 4 වෙනිදට කලින් වරෙන්.4 මම ගෙදර යනවා.පොඩි එකීගේ උපන්දිනේ.ගිය පාරත් ආවේ නෑ කියලා හෙන කේස්.මේ පාරනම් යන්නම ඕනේ....."ඒ ගැන එච්චරයි.ඊට පස්සේ ව්‍යාපාර ගැන,අරක්කු ගැන වගේම රටේ නැති දේවල් ගැන තමා කතාකෙරුවේ.ඒ කතාවෙන් දවස් 3-4ට විතර පස්සේ දවසක රූපවාහිනියේ හිරු නාලිකාවේ "සඳ ගිරි මුදුණ" කියන සන්ගීත වැඩසටහන නැරඹුවා.සුනිල් එදිරිසින්හ ආරාධිතයා වුන මේ වැඩසටහන මෙහෙයවූවේ නදීක ගුරුගේ සහ රත්න ශ්‍රි විජේසින්හ ශූරීන්.එදිරිසින්හ මහතාගේ "චන්ද්‍ර මණ්ඩලේ සැතපුන" ගීතයට රත්නශ්‍රී ඉදිරිපත් කල හැදින්වීම අහනකොට මට මතක්වුනේ එදා කතාකරපු මගේ මිත්‍රයාව.වෙන වල්පල් ගැන කතාකලත් තම දියනිය පිළිබඳව  ඔහුගේ හිතේ තියන ආදරේ ගැන අළුතින් හිතෙන්න පටන්ගත්තා.ඔහු තම දරු දෙදෙනාට ගොඩක් ආදරේ කරන පියෙක් බව මම දැනගන හිටියා.තමාගේ බ්ලොග් එකේ පින්තූරෙටත් ඔහු යොදාගත්තේ ඒ කෙළි පැටික්කිවයි.ඒ ඇතිවුන අදහස් තමයි ඒ වෙලාවෙම අකුරුවුනේ මේ විදිහට;ඒ වැඩසටහනේ ඉතිරිය බලන ගමන්ම.

දැන්නම් ඒ දුවගේ උපන්දිනේ පහුවෙලත් ඇති.ඒත් මේ කවි ටික ඇයට උපන්දින තෑග්ගක් වේවායි පතන අතරම මාගේ මිත්‍රයාටත් ඔහුවෙනිම දහසක් වූ පියවරුන්ටත් මේ වචන ටික උපහාරයක්ම වේවා'යි ප්‍රාර්ථනා කරනවා.
(එම බ්ලොග්ලියන්නගේ නම මෙතනින් සදහන් නොකලේ මේ කවි පලකරන්නේ ඔහුගේ අවසරයකින් තොරව නිසයි.දිනක මේ කවි ඔහු කියවූවහොත් එම නම හෙළිකිරීම හෝ නොකිරීම ඔහු තීරනය කරාවී ).