Wednesday, May 27, 2015

හීනය....



"අඩෝ ලබ්බි...මොකද කරන්නේ....?"
"ලබ්බි....ශික්...ගෑනු ළමයෙක්ට කතාකරන කැත...මහ නැහැදිච්ච ගෝරිල්ලෙක්"
"තෝ මගේ ගෑනිනේ ඉතින්....උඹට ලබ්බි කියන්නේ නැතුව මම වෙන කාට ලබ්බි කියන්නද?"
"ඇයි අල්ලපු ගෙදර අක්කා...ඇයි අර හැමදාම ඔයත් එක්ක නිදාගන්න අර ලස්සන කෙල්ලෝ තුන්දෙනා..."
"ආ....ඒ අය ඉන්නේ ඉතින් අර කොටු කොටු දාන සීන් වලට විතරනේ.ඒ අයට ලබ්බි කියන්නේ නෑ.ලබ්බි කියල කතාකරන්නේ මම ආදරේ කරන කෙනාට විතරයි"
"ඇයි අප්පා ...ඒක මාර වැඩක්නේ...ආදරේ කරන කෙනාට ලබ්බි.අර නිදාගන්න එවුන්ට මොකද්ද කියන්නේ එතකොට?"
"ඒ ගොල්ලන්ට කියන්න ගොඩක් නම් තියනවා .... සුදූ...පැටියෝ...මැනික....වස්තුව....කොච්චර නම් තියනවද..."
"මරනව තෝව මම..."
"උම්මා දීලද...?"
"නෑ....කොනිත්තල.උම්මා ඉල්ලගනින් අර අනිත් එවුන්ගෙන්.මම ඉන්නේ ආදරේ කරන්න විතරනේ..."
"අන්න අන්න ඔයාට වැරදුනා.ඒකට විතරක් නෙමෙයි ඔයා ඉන්නේ.....මම තේ බොන්නේ නැති නිසා ෆෘට් ජූස් එකක් අරගන ඇවිත් උදේ පාන්දර මාව ඇහැරවන්න ඕනේ.මගේ ඇදුම් අයර්න් කරලා දෙන්න ඕනේ.සපත්තු දෙක පොලිශ් කරලා දෙන්න ඕනේ.ගෙවල් අස්පස් කරලා රසට උයල වෙලාවට කෑම ටික දෙන්න ඕනේ.හවසට මම ගෙදර ආවහම ඔය බීම එකක්,කේක් කෑල්ලක් මට ගෙනත් දීලා මගේ සපත්තු මේස් ගලවන්න ඕනේ.තව....."
"ඇති ඇති...මට බෑ උඹව බඳින්න....හොයා ගනින් වැඩට ගෑණු කෙනෙක්ව....මම එන්නෑ ඔයත් එක්ක"
"ඔය කිවුවට මම දන්නවනේ තෝ එනවා කියලා...."
"මමනම් එයි...ඇයි ඔය කියන අල්ලපු ගෙදර අක්කයි,එහා ගෙදර නංගියි,රෑට ඇදට එන කෙල්ලෝ තුන්දෙනයි එක්කම ඉන්නකෝ මට වද නොදී..."
"උන් එක්කම හිටියහම මාව බලාගන්නේ කවුද? මගේ වැඩ කරල දෙන්නේ කවුද?"
"ඉතින් ඔය ඉන්නේ කට්ටිය...ඒ අය කරල දෙයි"
"අපෝ බෑ....මහන්සි වුනොත් ඒ අය කැතවෙයි.ඒ අයට වැඩ කියන්න බෑ"
"අයියේ...මම උඹව මරනවා හොඳේ....එන්නෙම නෑ මමනම් ඔය ගෙදරට...ඉදපිය තනියම"
"ඉන්න පුළුවන්ද තනියම.....?"
"බැරි එකනේ වෙලා තියෙන්නේ...."
"වෙලාව තමයි ඉතින්.කරුමයක් තියනවනම් වලක්වන්න බෑළුනේ....බලමුකෝ ඕක ගෙවුනට පස්සෙවත් හොද කෙල්ලෙක්ව හම්බවෙයිද කියල මට...?"
"අපොයි ඔවු...කාගෙද දන්නේ නෑ කරුමේ....මමනම් තෝව බඳින්නෙම නෑ රිලව....හිටපිය අල්ලපු ගෙදර එකී එක්කම"
"හරි හරි ඉතින් මගේ සුදු බෝල ලස්සන කුක්කු බෝලෙනේ ඔයා....ඉතින් කියන්නකෝ මොකද කරන්නේ කියලා..."
"මොනවා කරන්නද ඉතින් මේ රෑ...අර වහුකුණු රිළවා කතාකරනකම් බලා හිටියා..."
"අදනම් වෙලාව හොඳයි නේද?වහුකුණු රිළවා වෙනුවට කතාකලේ දඟකාර හැඩකාර විසේකාර හැන්ඩ්සම් කොල්ළෙක්නේ...."
"පුහ්...මැස්සෙක් ගිය උඩ...."
"මේ මෝඩයෝ...හෙට ප්ලෑන්ස් මොනවද?"
"හ්ම්ම්ම්....උදේ 8 වෙනකොට ඔයා අපේ ගෙදර.8.05ට අපි යනවා සැලෝන් එකට නිල්මිණී අක්කව පික් කරගන්න.එයත් එක්ක පෙටා යනවා.ඒ වැඩ ඉවරවෙලා ඔයා මට ශාන්ති විහාර් එකෙන් මසාල තෝස 2-3ක් කන්න අරගන දෙනවා.එනගමන් මට මිල්ක් ශේක් එකකුත් අරගන දීලා මාව ගෙදරින් දාලා ඔයා ගෙදර යනවා....සිම්පල් ප්ලෑන් එකක්..."
"මෙහෙම කරමු...ඉස්සල්ලම තෝසේ 2-3 කාලා ඉමු.නැත්තන් මෙශර්මන්ට් වෙනස් වුනොත් අපරාදෙනේ ගන්න ගවුම."
"හා...හා...ඒක ගැන ඔයා වදවෙන්න එපා.මම ඒක බලා ගන්නම්.ඔයා මම කියන විදිහට වැඩේ කරන්නකෝ...."
"නොදකින් මෙහෙම මලපෙරේතියෙක්....මේ අම්මලා වැඩට යන්නේ කීයටද?"
"6.30ට .ඇයි?"
"නෑ ඉතින් අම්මලා නැතිවෙලාවට නංගි බබෙක් විතරක් ඉන්න ගේකට එන්න හොඳද මන්දා...ඒකයි මම ඇහුවේ..."
"අනේ...මම නොදන්න අයියා....ඔවු ඔවු...ගෙදරට එන්න එපා...ගේට් එක ලඟට ඇවිත් හෝර්න් එක ගහන්න.මම එන්නම්..."
"නොදකින් වල් ඊරී....මම 6.45 වෙනකොට ගෙදරට එනවා.මූණ හෝදන් හිටු හොදේ..."
"ඇයි...තව සති 5යි මගුලට තියෙන්නේ....ඉවසන් ඉන්න බැරිද එතකන්....අසහනෙද එච්චරට?"
"පිස්සුද දරුවෝ...මම එන්නේ ඔයාගේ ඇදුම් අන්දන්න....ලස්සනට ඇදගන යන්න එපැයි ඉතින් ගිනිකිකිළි වගේ"
"නෑ...නෑ...ඔයා මහන්සි වෙන්න ඕනේ නෑ ඒකට.මම තනියම ඇදගන්නම්.ඔයා ගේට් එක ලගට වෙලා ඉන්න.මම ගේට් එක අරින්නේ 8.05ට. වනචරයා."
"නොදකින්...පතන්න ඕනේ මෙහෙම ගෑණු....බලපියකෝ...මගුල්දා රෑවත් මම තොට අතක් තියන්නේ නෑ.අනිත් පැත්ත හැරිලා නිදියනවා සැපට"
"අම්මෝ...ලොකු දෙයක්....මමත් හොදට නිදියනවා අතපය දිග ඇරගන"
"ඔවු ...ඔවු...බලන් හිටපන්කෝ...කොහොමත් තොට අතපය ඈත් කරන් තමයි එදාට ඉන්න වෙන්නේ..."
"වනචරම වනචරයා.මේ කපේදිනම් හදන්න බෑ ඔයාව....මේ අයියේ...කෑම කෑවද?"
"නෑ බං තාම.අර වැඩ ටික ඉවරවෙනකොට පරක්කු උනා.ඔයාව මතක්වුන නිසා ඔයාට කතාකලා."
"එහෙනම් මොන මගුලටද ඉස්සල්ලා කමුද කියල ඇහුවහම කමුයි කිවුවේ...යනවා ගිහින් කාලා එනවා මගේ යකා අවුස්සන්නේ නැතුව..."
"හරි හරි...තව ටිකකින් කන්නම්....කතා කරන්නකෝ දැන්"
"මේ...කතා නෑ..ගිහින් කාලා එන්න.කාලා ඇවිත් මට ගන්න.මම තියනවා....බායි..."
"බීප්...බීප්...බීප්..."

නොදකින් මුන්ගේ ගණන්...මේකිගේ අම්මට ජංගි කීයක් තියනවද දන්නේ නෑ.
***********************************************************************************

"අඩෝ අයියේ...."
"මොකද බං නංගියේ...?"
"මොකද කරන්නේ...?"
"එහෙමට විශේෂ වැඩක් නෑ.පත්තරේ බැළුවා.ඇයි?"
"නිකමට ඇහුවේ...ඇයි දැන් කතා කරන්න එපාද...?"
"නෑ ඉතින්....තව අවුරුදු බර ගානක් ඔය කච කචේ අහන් ඉන්න වෙන හින්දා මම බැළුවේ මේ දවස් ටිකවත් කතා නොකර කනක් ඇහිලා ඉන්න."
"ආආ...ඇත්තද...එහෙනම් ඉන්නකෝ...අපි තියනවා...බායි..."
"ඒ ඉතින් විහිළුවටනේ කිවුවේ....කියන්නකෝ ඉතින් මගේ හොඳ සුදූ වගේ..."
"අපෝ බටර්...කට වටේ පෙරෙනවා....මේ...දෙයක් අහන්නම්?"
"මොකද්ද?"
"ඒ වෙලාවේ අම්මා හිටිය නිසා අහන්න හම්බුනේ නෑ.අර ගවුම ෆිටෝන්ග් කරද්දී ඇයි අර මම දිහා අමුතු විදිහට බලා හිටියේ...?"
"කොයි වෙලාවෙද...?මම එහෙම බලා හිටියද...?"
"හ්ම්ම්....නිල්මිණී අක්කටත් හිනා ඒ බලා හිටපු විදිහට...ඇයි එහෙම බලා හිටියේ....?"
"අනේ ඉතින් මේ වගේ දර හැවක්නේ මටත් කරගහන්න උනේ කියලා හිතුනා.ඒ වෙලාව ගැනද දන්නේ නෑ ඔය කියන්නේ....?"
"අනේ.....කියනවකෝ"
"උඹ ඒ ඇදුම ඇන්දහම ලස්සනයි බං.හරියට සුරන්ගනාවියක් වගේ.මට ලෝභ හිතුනා.ඒකයි බලාගන හිටියේ."
"මොනවද ඒ වෙලාවේ හිතුනේ...?"
"හිතිච්ච දේ තමයි ඉතින් ඔය කිවුවේ...."
"විනාඩි 5ක් විතර කට ඇරන් බලා ඉද්දි හිතුනේ ඔච්චරද...?කියන්නකෝ අගේ නැතුව.ඔය හිතේ තියන ආදරේ කියනවකෝ හිතේම හංගගන ඉන්නේ නැතුව.මහ මොකෙක්ද මන්දා...කවදාවත් ඒ ආදරේ පෙන්නන්න ඉගන ගන්නේ නෑ.එයා හැසිරෙන විදිහෙන්,බලන විදිහෙන් මම තේරුම්ගන්න ඕනේ මට කොච්චර ආදරේද කියලා ඉතිං"
"ඉතින් ඒ මගේ හැටිනේ...ඒ මදිද...?"
"මදි නෑ...ඒත් ඉතින් අපි ගෑණුනේ...අපි කැමතියි අපි ගැන හිතන ඒවා අහන්න...."
"ඉතින් එහෙම කියන්න මට තේරෙන්නේ නෑනේ...."
"එහෙනම් ඉගන ගන්න...නැත්තන් වෙන කවුරුහරි මාව වර්ණනා කරනකොට මම නොමග ගියොත් වැරදිකාරයා ඔයා තමයි හොඳේ...."
"ඒක ගැනනම් මම බය නෑ...."
"ඇයි...?"
"මම තරම් පොට්ටයෙක් තව නැතුව ඇති මේ ලෝකේ...."

 "බූරුවා...මට ආදරේ කරන හැටි කියන්න තමයි වචන නැත්තේ.අපහස කරන්නනම් ඕන තරම් වචන එනවා කටට"
"නෑ...නෑ..ඉතින්...ඕකනේ කියන්නේ...බෙරි වෙන්නනම් එපා හොඳේ.මම කැමතිම නැති වැඩේ තමයි ඔය"
"ඉතින් එහෙනම් කියනවකෝ...අඩුමගානේ මට ආදරෙයිද කියලවත්...?"
"ආදරෙයි තමයි බං මම උඹට.ඒක ඉතින් ඔයා දන්නවනේ.අදනම් ඉතින් ඒ ආදරේ වැඩිවුනා.තෝ අද ඒ ඇදුමට ලස්සනට හිටියා.මට මිරී...කන්න හිතුනා."
"අන්න එහෙමවත් ටිකක් කියනවකෝ බුම්මට්ටා වගේ කටේ හිරකරගන ඉන්නේ නැතුව....අපි කොහොමත් ලස්සනයි තමයි..."
"නෑ..."
"නෑ නෙමෙයි.ඔවු"
"මම හිතන් හිටියේ ඒ ගවුම ලස්සන නිසා උඹව ලස්සනට පේනවා කියලා..."
"පල යන්න නරියා...ගවුම ලස්සන වුනේ මම නිසා..."
"හරි හරි...අපි එහෙම කියමුකෝ.මේ සුදූ...අර ජුවලරි ගන්න යනකොට මගේ නැන්දම්මත් එනවා නේද?"
"ඇයි ඒ...?අපි දෙන්නම ගිහින් ගමු අයියේ..."
"එයාවත් එක්කන් යමු.නැත්තන් එයා හිතයි අපි එයාව මගාරිනවා කියලා"
"පුහ්...බෑනගේ ලවු එක බලහන්කෝ නැන්දම්මට..."
"මට ඉතින් අම්මෙක් තාත්තෙක් හිටියේ නෑනේ නංගෝ...ඒ නිසා ලවු තමයි එයාට"
"හරි හරි...අපි එයාවත් එක්කන් යමුකෝ...මේ අයියේ...වැඩි ගනන් ඒවා එපා හොඳේ...මම රත්‍රං දාන්න එච්චර කැමති නෑනේ....ඔයත් කැමති නෑනේ...ඒ නිසා ඔය නමට රත්‍රං කියල කියන්න ඒවා ගමු හොඳේ වැඩි ගනන් නොදී"
"නැන්දම්මා හිතයිද දන්නේ නෑ බෑනා ලෝභයෙක් කියලා..?"
"නැන්දට පේන්නද මාල ගන්නේ...?එයා දන්නවා දුවගේ හැටි.අනික ඔයත් රත්‍රං වලට එච්චර කැමති නෑ කියලා එයා දන්නවා..."
"වෙලාවට...මම මේ කල්පනා කලේ ඔය මුද්ද ගලවලා මම වැඩට යනකොට නැන්දම්මා වැරදියට හිතයි කියලා."
"හහ්...මුද්ද ගලවලා යන්න....කපනව මම ඔය අත මුද්ද ගලවලා ගියොත්..."
"නෑ ඉතින්...මම රත්‍රං වලට කැමති නැති නිසා මිස වෙන දෙයක් හින්දා නෙමෙයි..."
"ආආ.....ඇත්තද....වරෙන්කෝ අයියේ උඹ මුද්ද ගලවලා යන්න...මම බලා ගන්නම්කෝ එදාට ඒක..."
"ඊරිසියාව...මම හැංඩියා වගේ ඉන්නකොට මගේ දිහා කෙල්ලෝ බලයි කියල ඊරිසියාව..."
"අනේ මට වැඩේමයි...මේ අයියේ...ලබන ඉරිදා ඔය වැඩේ කරමු.ඔයා සඳුදට මොකද කරන්නේ..?"
"ඔෆිස් තමයි ඉතින්.ඇයි?"
"නෑ...එදාට අර දෙවනි ෆේශල් එක කරන්න යනවා.ඒකයි ඇහුවේ.ඔයා ඔෆිස් යන්න.මම තනියම යන්නම් ඒකට.නිවාඩු ඉතුරු කරගන්නත් ඕනෙනේ ඔයා"

"එහෙනම් මෙහෙම කරන්න.දවල් වෙලා යන්න.මම වැඩ ඇරිලා එන වෙලාවට මාත් එක්ක ගෙදර එන්න ටයිම් මැනේජ් කරගන්න"
"බලමුකෝ...මම සැලෝන් එකට කතාකරලා ඔයාට කියන්නම්කෝ..."
"හරි පැටියෝ...එහෙම කරන්න"
"අයියෝ...මම පොඩ්ඩක් කුස්සිය පැත්තට ඔළුව දාලා එන්නද?අම්මා උයනවා.ටිකක් උදවු කරලා එන්නම්"
"හරි සුදූ එහෙනම් ගිහින් එන්න.කෑමකන වෙලාවට මට කතාකරන්න "
"හරි අයියේ...පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි...බායි.."
"බායි පැට්ටෝ...පරිස්සමෙන් ඉන්න"

             -මතු සම්බන්ධයි-

කටුස්සා....

Friday, May 22, 2015

ලේ....



උපන්දා සිට දැක්කේ ලේ'මය
මිනී කදු මැද වැටි වැටී
හුස්ම ගත්තෙත් ලේ සුවඳමය
පුළුටු ගඳ මැද හැපි හැපී
උරුම කඳුලුයි බලන හැම නෙත
සිනහවක් නෑ නෙත මුනගැසී
දකිනු රිසිවී නොදුටු සිනහව
තැබුව පමණී පා පොඩී

තැලී පොඩිවුනේ මා සිරුර නොව
දුටුව ඒ සුභ සිහිනයන්
වියරුවෙන් මෙන් හපන විට ගත
රිදුම් දුන්නේ පැතු පැතුම්
ඇඟට බරවන විටදි පසුපස
ජාතියක් සිහි නොවුන සිත්
දියනියක් සේ විතරක්ම සිත්මැන
ඔබට දා ලොව ජනිතවුන්

හපකෙරුව මා ගතට වාරුව
නොහැක දීමට ලේ හලා
මගේ සිරුරෙන් නූපුදවනු මැන
ජාති කුල ගොත් සුනඛයා
නොදෙනු නිවුමට ඇවිලෙනා ගිනි
සිතා මා ගැන වැගිරෙනා
උතුර දකුනත් යා කරනු මැන
පාලමක් සේ මා ගත යොදා

 දියණියක් වුන පාපයම මිස
නොමැත මෙහි වෙන හේතුවන්
මගේ නිරුවත් සිරුර මත හිඳ
නොමදකිනු රජ සිහිනයන්
මෘග වෙස්ගෙන ලෙය හලන්නට
නොදෙනු මැන මගෙ සිරුර දැන්
අනේ මහතුනි රකිනු මැන තම
දෙනෙත මෙන් හැම දියනියන්


කටුස්සා....

Tuesday, May 19, 2015

කවිය....




හිරු සැගව ගිය දිනක අදිසි වෙස් ගෙන සැනින
උරුම පාළුව හැඳින හදිසියෙන් සුව රැගෙන
වියළි ගිය සිත් මලට සිසිල් දිය පැන් ඉසින
පොළව දෙදරා මතුව සුව ගෙනපු දිය කදුර

පන්හිඳට වෙර කෙරුව යුගය නුඹ නිමාකර
අහිමි සුව හදවතට යලි යලිත් උදාකල
නුහුරු නුවරක තනිව පාලුවෙන් හිදින සඳ
නුඹම පමණයි හිටියේ තනිකමට මගේ ලඟ

සැගව තිබු සිතුම්පෙල එකින් එක මිටට ගෙන
වල් වැදුන බිම් කඩක සුපුශ්පිත රුව මැවුව
සිරව තිබු ආත්මය හිතුමතේ පා කෙරුව
නුඹම විය මා සොඳුර අදුරු සිත පහන් කල

පායනා විටදි හිරු අළුත් අහසක දිනක
අහිමි සෙනෙහස සොයා හිරුට පෙම්බැඳි විටක
නොකියාම මට හොරෙන් පිටවෙලා නොපෙනෙන්න
සැගවුනේ කොහෙද නුඹ සොයනවා තවම මම

පායනා හිරු දිනක සැගවෙයිද නොදත් කල
කෙලෙස රදවම්ද මා මගෙ දිවිය හිරු මතම
නොයා නුඹ දුරු කතර දමා මා අතරමග
කවිය නුඹ හැමදාම රැඳෙනු මැන මා ලගම






  
කටුස්සා....

Tuesday, May 12, 2015

වසන්තයා ආපහු නිදි...




අප්පට සිරි...මූත් දාලා එකක්...
දාන්න ඕනේ මාත් එකක්....
කියන්න ඕනේ අරුන්ටත්....දාන්න ඕනේ මේලක් උන්ටත්...
කොටන්න කියලා ඕන බම්බුවක්...
වසන්තයාට

හම්මෝ...හරි මහන්සියි...
ගොඩ කාලෙකින්නේ...යන්තම් ඇති...
තාම ලියන්න පුළුවන් මටත්....
ඉස්සර බලපු එවුන් තාම කියවනවාද දන්නේ නෑ....
කතා කරලා කියන්න ඕනේ...
අඩෝ....දැම්මා මම පෝස්ට් එකක්...
වරෙන්...වරෙන්...ඇවිත් දාපන් කමෙන්ටුවක්...
මොකක්...පාස්වර්ඩ් මතක නෑ උඹට...?
මේ...කොහෙන් හරි රිකවර් කරගන දාපන් කමෙන්ට් එක
මගුලක් නොකර...

මොන *@#ක්ද මේ....
පරණ පොරවල් විතරමනේ කමෙන්ට් කරන්නේ....
කෝ අර ඉන්නවයි කියපු අලුත් එවුන්...?
උන් ලොකු සීන්ද...දාන්න බැරිද අපි වගේ පොරවලට
කමෙන්ට් එකක් මුන්ට...
දානකන් බලන් ඇති...අපිත් මුන්ට කමෙන්ට්...
මගේ බල්ලවත් දායි...මට නොදාන එවුන්ට...
කොහේද...
අපෙත් ඉන්නවනේ #ක දෙන එවුන් ටිකක්
උන්ව නග්ගන්න...
දැන් ඇති නලලේ...අම්මට...


ට්‍රීං...ට්‍රීං...
හලෝ මචං...කොහොමද ඉතිං...
නෑ බං...ඔෆිස් එකේ...
නෑ...කට්ටියම සෙට් වෙනවද...?අනිවා...මාත් එනවා...
ඔවු...ඔවු...තව එකක් දැම්මා...
කමෙන්ට් කරපං...
හරි මචං...හෙට හවසට සෙට් වෙමු...
ඔවු...ඒ ඉවෙන්ට් එක ගැන කතාකරමු...
සෙට්වෙන ගමන්ම...

ට්‍රීං...ට්‍රීං...
හලෝ මචං...ඔවු මචං...
සිරාවට ගියා නේද ඉවෙන්ට් එක...
ආවනේ ඔක්කොම වගේ අපේ සෙට් එකේ...
ලබන අවුරුද්දෙත් කරමු මේ වගේම...
ඔවු බං...බුකියේ චැටට වඩා මේක සිරා...
සුහදත්වෙත් වැඩිවෙනවනේ...අපේ සෙට් එකේ...
අලුත් එවුන්...ඇවිත් හිටියද එදා,...?
හ්ම්ම්...ලාවට වගේ මතකයි....එකෙක් දෙන්නෙක් කතාකලා...
පට්ට බිසීනේ බං...හරියට මීටර් නෑ...
අවුලක් නෑ...
ලබන පාර ආවහම සෙට් කරගමු...
අපිට මොකෝ...එන නොයෙන එක උන්ගේ වැඩක්නේ...

නෑ බං...දාන්න වුනේ නෑ...එපා වෙලා...
පට්ට බිසී මචෝ...
බ්ලොග පැත්තේ ගියේම නෑ...
යන්තන් බුකියට ඔළුව දානවා...
දවසක් දාගන කියපන් මටත්...
සෙට්වෙන්න...



කටුස්සා....

Sunday, May 10, 2015

අලුත් වැස්ස....




සිහින් මිමිණුම සමග මුසුවුන
නුඹේ හඬ මා සවන් රැවුදෙන
පාට දේදුණු අහසේ නැවතී
දුරින් හිඳ මට අත වනන සද
පපුව මත්තේ රැදුණු ආලය
මහමෙරක් සේ දැනෙන මොහොතක
අකුණු සර මෙන් නුඹේ නෙතුමත
පතිත වන්නට වරම් දෙනුමැන

සෙවන දෙන කඳු සෙවනැල්ල සේ
මගේ පසු පස නිබඳ සැරිසර
ආත්මය මල මුදාගන මගෙ
සිනිඳු අත්ලෙන් පිරිමදින කල
සඳේ නුඹ මට හෙලන විලිබර
බැළුම් මා සිත තදින් සිරකොට
තබන අරුමය පවසපන්  හෙට
යළිඳු නුඹ මා හමුවනා විට

නගා මදහස මුසුව නල හා
මගේ මන සිහියෙන් ඈත්කර
තබා පියවර ඉදිරියෙන් මා
මගේ පියවර නුඹව ලුහුබැද
මදක් නැවතී බලා නුඹ දෙස
බවුන් වඩනා මදෙස ඉදහිට
නගන තරවටු බැල්ම දෙනයන
තවත් හෙලපන් ආදරෙයි මම


කපා ඉනි ගං දියට පෙරදා
බලා සිටි මා ලඟට පියමැන
විසිර ගිය හද කැබලි එක් කල
මනා කල ආදර රැහැන් පට
මේඝයක් සේ වෙළී සියොලඟ
ලබාදී සිසිලස ලතෙත් වත
මගේ ලොව මා නැවත රජකල
රැජිණ නුඹ ලොව කිරුල අත්හල



කටුස්සා....






Monday, May 4, 2015

විපිළිසර



දසතින්ම ගුමු නදය
නිදි නැතිය ජනපදය
අක්කාගේ පොඩි පුතුට
උනුහුමකි ඇගෙ තුරුල
මගෙ පසෙක බොල් හඩින්
කහින්නේ අම්මාය
අනික් පස දගලනා
කකුල් දස දොලසක්ය
රාත්‍රිය මෙයම විය
හැටේ වත්තේ අපට
නිදි නොමැති ඇගෙ සුසුම්
නිවන වෙන මගක් වෙද

වැඩකරන ට්‍රැක්ටරය
කුණු ගන්න ගිය දිනක
කුණු රැගෙන දිව ආපු
හාමුගේ සුරතලිය
එදා දුටු සා නෙතුය
බිඳ දැමුවේ මගෙ සිහිය
ඇත්තමයි මහතුනේ
හමුවුනේ ඉද හිටය
ඒද අප මැදින් උන්
තාප්පෙක දෙපසින්ය
හඳපානේ එන තෙක්ම
ගැටුනෙ නැත ඇගෙ සුරත

කැන්දගන එන තුරුම
දන්නෙ නැත අප නිවස
ගෙනා බෝතල් පහෙන්
නිමා විය මගුල්ගෙය
මධු සඳට නිගාදුන්
පළමු රැය උදා විය
නිදාහුන් ඇය දෙපස
අක්කගේ පොඩි උන්ය
බලා ඒ දෙස නොබල
පුරුදු තැන දිගා විය
ඒ ලෙසින් සතියක්ම
මහතුනේ නිමා විය

නොදුටු කෝමල වතක
සිහිනෙනුත් පෙනෙන සඳ
හැඟුම් සිර කරනු වස්
යදම් බැඳ ලනු හැකිද
අඩි පහක් දුර නැතිය
ඇය නිදන පැදුර මට
යොදුන් ගනනක දුරකි
පොඩි එවුන් අතර මැද
 ඇවිලෙනා රාග සිත
නිවන වෙන මං නොවිය
රූම් දෙන තැනක් මිස
කොහිද මට පිළිසරණ

හොරෙන් වට පිට බලන
කපල් මැද එඩිතරව
පියමැන්නෙ මධු සඳට
ඇගේ අත අත් නොහැර
විලිබරව රතු වෙච්ච
ඇගේ වත සිඹින විට
මහ හඩින් තඩිබෑවේ
කලු මහත සාජන්ය
වරෙන් වේසියෙ යන්න
කියන විට ඇයට හඬ
වේසියක් නොවෙයි ඇය
පැවසුවා මගේ මුව
ඒ හාම මගෙ මුහුණ
මත ඔහුගේ රළු අත්ල
කොතෙක් පැවසුවත් අප
නැවතුනේ මෙතනින්ය

නොදෙනු මැන තව නිගා
සා දෙනෙත අසරණය
මෙවන් කටුසර බැනුම
ඇයට තව හුරු නැතිය
මේ නුහුරු සෙයිලමේ
ඇයට වෙන පිහිට නැත
ඇය දන්නේ මා පමණි
මෙතන මා අසරණය
වෘක නෙතු අතර මැද
දමා යා නොහැක ඇය
නොමැතිනම් එක පැයෙන්
ගෙනත් දෙමි සහතිකය
බොරු නොමැත පවසාපු
කතාවේ කිසිම තැන
මහතුනේ පිහිට වනු
නුඹල බුදු වෙයි දිනක



-කටුස්සා-


*****නිමිත්ත හොරකම් කලේ මනෝශ්ගේ කොළොම්පුරේ පෝස්ට් එකෙන්*****