Sunday, December 27, 2015

මල්ලියේ.....


රැයක් එළිවන තරුත් සැඟවෙන ලොවම සැතපෙන මැදියමේ
නිදිවැදුන මුදු වසන්තය ඉකිගසා වැලපෙන කම්මලේ
අගක් නොදකින සිතත් කළඹන නැගෙන රළු හඬ යන්තරේ
නුඹේ හදවත ගයන ගීතය සොරාගත්තද මල්ලියේ

පාන් කාලයි කෙසල් ගෙඩියයි දනියි නම් කුසගිනි නුඹේ
වතුර හොද්දයි නාඩු හාලයි ගනියි වෙන වෙස් දහවලේ
කඳුළු හෙලනට තහනම්ව ඇති පිරිමි හදවත දහවලේ
හෙලන කඳුළුද බිංදු දා ලෙස සිමෙන්තිය මත දිලිසුනේ

අට පැයක වැඩ මුරය ගැන කිසි දින අසා නැති වැඩබිමේ
දවස් ගානට වැටෙන පඩි පත නුඹේ ගත වෙත සවිය දේ
ගම් පියසෙ හීනෙනුත් හිනහෙන පෙම්වතිය ගැන නිනවුවේ
තට්ටු ඇඳ මිස නුඹේ පෙම් ලොව දුටුවෙ කවුරුද මල්ලියේ

වැඩ ඇඳුමටම භුක්තිවුන කය නොදුටු රසතැන් දහවලේ
ලාභ මල් පැණි අතර සරමින් සොයන නුඹ ගන කළුවරේ
සිහිවෙනා විට උරයෙ රැඳි බර නොදකිනා සිහිනය රැයේ
කවද කොතනද දකින්නේ නුඹ නෙතු පියා සුව සහනයේ

නුඹත් සමගින් අකුරු කලවුන් සරද්දී පර්මිට් ලොවේ
නුඹේ දහඩිය පවුල් බර මත කාසියට අඩු ලංසුවේ
දහස් ගණනක සුසුම් කැටිවුන උන් පැදන්යන රියසකේ
අතර සිරවී කැරකුනේ දිවියමයි නුඹලගෙ පැල්පතේ

කපටි ඇඳුමින් වසා නිරුවත හිනහුනේ උන් පෙරදිනේ
රජ කරන්නයි උඹව හෙට දින උඹට හිමිනැති උඹෙ රටේ
ලබාදුන් යස ඉසුරු උඩ උඹ තැනුව මාලිග මන්දිරේ
නැකත එනතුරු ගෙට වදින්නට නොහැක නුඹලට කිසිදිනේ

කෝල සිනහව ලාභ කිංකිණි අතර සැගවෙන සෙයිලමේ
අයාලේ යන සිතුම් කැටිකර තොග මිලට විකුණන වෙලේ
අසංවර සිත අතර පියඹන සමණළුන් පෑ මදහසේ
අරුත් සොයනට නිබද ලතැවුන නුඹෙ සිතයි මෙහි පොඩිවුනේ

ටච් පෑඩ් මත දුවන දසැඟිලි උදය දහවල මහරැයේ
නොවිදිනා මුදු මෙලෙක හදවත හදුනයිද දහඩිය රසේ
තුනම සීයට විකුණනා රතු ඇපල් මළු ඇති මාවතේ
වාරු ඇතිවෙද දනින් නොවැටී ඇවිද යන්නට දිවිමගේ



කටුස්සා....

Monday, December 21, 2015

පමාවූ සුභ පැතුම....



තව දිනක් ඔබ නැතුව මං නොදැන වල්මත්ව
ඒ උනත් පෙර දිනක මේ දවස අමතකද
රෝස මල් පොකුරු මැද රැඳුණ සුභ පැතුම්පත
දිවිමගේ සුන්දරම වසත්කල මගේවුන
තාම දැනෙනව සීත වප් සුළඟ දඟකෙරුව

හමන නළ හා එක්ව පාවයන මකරන්ද
අසෙනියා රේණු මත දඟකරන බඹරුන්ට
කොදුරණා සොඳුරු කව ථේරි ගීයක් ලෙසට
සවනතේ හැමදාම රැවුදිදී නිම්නාද
සදාකල් රැදෙනු මැන අදට නොව හැමදාම

කල්බලා මං සොයන සමණලුන් තටු අතර
ඉඳුසරින් සොරාගන සගවගත් හැම වර්ණ
නුඹ දිවිය අදුරුකල මා ඇන්ද සිතුවමම
වසා පින්තාරුකර ඉරක්වත් නොපෙනෙන්න
නොසංසුන් සුරත මත සංසුන්ව රැදෙනු මැන

සුරඟනට අමතකව මිහි ලොවට පෙර දිනක
විසි කෙරුව කඩුපුලක පෙති අතර රැදි සුවඳ
මගෙ අතින් කිළිටිවුන නුඹේ හද දෙවොල මත
මගෙ සුවඳ වියකෙන්න දස අතම හමායන
සුවඳ පොද වී දිනක සදා එහි රැදෙණු මැන

සුභ උපන්දිනයක් වේවා.....!



කටුස්සා...

බයිසිකලේ....


"කොහේද ගල් හෝතම්බුවෝ යන්නේ.....?තෝ හිතුවාද මගේ කකුල් දෙක ලංගම එකට අයිතියි කියලා...?"
"ලබ්බක් කියනවා....තෝගේ කකුල් දෙක ගහගනින් ඕන රෙද්දක....ඉක්මනට වරෙන් පහළට යන්න....සජිය කතාකරල කිවුවා ඉක්මනට පහළට එන්න කියල...."
"ඇයි ඌ ආයිමත් ජම්බුගහෙන් වැටිලද...?"
"ආයිමත් වැටෙන්න ඌ කලින් වැටිල තියෙන්න එපැයි....ඕකා ජම්බුගහෙන් වැටෙනකම් බලන් හිටියොත් අපේ ආච්චිත් ආපහු කාසල් එකට යන්න කතාකරයි සීයට යකඩ පෙතියි ෆෝලික් ඇසිඩුයි ගන්න....ඉක්මනට වරෙන්කෝ බන්..."
"ආච්චි එහෙට ගියාට සීයට එහෙම හැකියාවක් තියේවිද බං...?දිව්‍ය ලෝකෙට යනවද අපායට යනවද කියලා 10-20 ගැන ගැනනේ පොර ඉන්නේ මේ දවස්වල..."
"අනේ ඒ බොරුවටනේ බං...මිනිහා හෙන විහිළුකාරයානේ ඒ දවසල ඉඳලා....ඔය පණ අදිනවා වගේ ඉන්නේ අපිව රවට්ටන්න බං....මේ අවුරුද්දට විතරක් පොර පණ අදිනවා කියලා අපේ ගෙදර 3න් පාරක් පේන්ට් කරලා ටයිල් අල්ලපු නැති ටිකටත් ටයිල් ඇල්ළුවා..."
"ඒ මොකටද බං සීය පණ අදිනකොට ගේ පේන්ට් කරන්නේ....?තීන්ත සුවඳට පොර පණ ගහනවද...?"
"නෑ බං....මළ ගෙදරට පොඩි අක්කගෙයි ලොකු අක්කගෙයි ඔෆිස් එකෙන් කට්ටිය එන නිසා ගෙවල් දොරවල් ටිකක් පොශ් එකට තියෙන්න ඕනෙනේ...ඒකයි...වෙන එකක් තියා ආච්චිටත් ගවුම් දෙකක් මහගන ආවා කට්ටිය එන දවසට අදින්න"
"අනේ වාසනාවන් මේවගේ මිණිපිරියෝ...ජාති ජාතිත් පතන්න ඕනේ.....උබලෑ ආච්චි කවද්ද බං ගවුම් ඇන්දේ....?මම දන්න කාලේ ඉදන් එයා ඇන්දේ රෙද්ද හැට්ටෙනේ...."
"මගුල තමයි....ඒ ඉස්සර සිසිලින් නෝනා...දැන් එයා සිසී රණවීර.ඊයේ මට කියලා වීට් එකකුත් ගෙන්න ගත්තා අර ගවුම් ඇන්දහම කකුලේ මයිල් පේනවා කියල....ඔය කට වහගනින් යකෝ....ආපෝ ඒකේ කැත....අර හක්කේ 3වෙනි දතත් පණුවෝ කාලා."
"මගේ දත පණුවෙක් හරි කනවා...තොගේ දත අඩුමගානේ හැකරැල්ලෙක්වත් කනවද...?දවසට දෙපාරක් දත් මැදපන් ෆ්ලෝරයිඩ් තියන ටූත් පේස්ට් එකකින්....බලපන් තොගේ කටේ අපිරිසිදුකමට පනුවෙකුටවත් ඕකේ ජීවත් වෙන්න බෑනේ...."
"මම උඹට කියන්නේ නෑ.....මේ අරූ ආපහු කතාකරනවා බං....වරෙන්කෝ යන්න....."
"උගේ තාත්තා ඇමතිද යකෝ ඌ කතාකරනකොට අපි දුවගන යන්න....ඌට ඕනෙනම් මෙහාට එන්න කියපන් අපිව හම්බ වෙන්න...දැන් සර්ත් එයි බං"
"අපිට බඩුවක් පෙන්නන්න ඕනේ කියල බං ඔය කතාකරන්නේ...ඕකා අද ඉස්කෝලේ ආවෙත් නෑනේ.කවුද දන්නේ මොකක් හරි ලොකූ බඩුවක් ගෙනත්ද කියලා අපි තුන් දෙනාටම... වරෙන්කෝ යන්න බඩුව බලල එන්න...."
"අනේ ඌ ගේන ලොකු බඩු....ඕකා කවද්ද බන් සීනි බනිස් එකකට වඩා ලොකු බඩුවක් ගෙනාවේ අපිටත් එක්ක කියලා...දැනුත් ගෙනල්ලා ඇති ලොකූ...බිබික්කමක් අපි දෙන්නටත් එක්ක කියලා...."
"වරෙන්කෝ යකෝ යන්න....බිබික්කම උනත් ඌ අපිටත් කෑල්ලක් දෙනවනේ.වරෙන්කෝ යන්න ..."
"මොන මළ කරදරයක්ද බං...ඔච්චර කියනවනම් යමුකෝ...උදේ කෑවට පස්සේ තාම මුකුත් කෑවෙත් නෑ...."
"තාම 8නේ බං..."
"ඉතින්...?"
"දැන් බඩගිනියි කිවුවේ..."
"මට බඩගිනි නිසා"
"ඉතින් උදේට කෑවා කිවුවේ...."
"කෑවා තමයි...දැන් බඩගිනියි....හැදෙන වයසනේ බං....ඉතින් මේ කාලෙට හොදට කන්න ඕනේ...අනිත් කාලෙට වගේ නෙමෙයි.මේ කාලෙට ශරීරෙට වැඩියෙන් පෝශ්‍ය පදාර්ථ ඕනේ....."
"අනේ උඹේ හැදෙන වයස....ඇයි යකෝ උඹ හදන්නේ ගෙදර මිනිසුන්ව හිගමනට දාන්නද පැය දෙකෙන් දෙකෙන් කාලා..."
"කට වහපන් බං...ගෙදර හිටියනම් මේ වෙලාවට අම්මා නෙස්ටම් එක හදාගන පස්සෙන් එලවනවා කවන්න."
"අනේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව හිටපන්.මම නොදන්නවැයි උඹලගේ අම්මා එළවන හැටි උඹේ පස්සෙන්...සුරංගනා කතා නොකියා බලපන් සජ්ජා ඉන්නවාද කියලා...."
"කෝ බං මේකා නෑනේ.මූ බොරුද දන්නේ නෑ බං කිවුවේ...?"
"අර මොකාද බං අර හල්ක් වගේ හිටගන අතවනන එකා...?"
"කෝ...කොහේද...?"
"අර අතන අර බයිසිකල් පාර්ක් එකේ...."
"අපිට මොකෝ බං...සජ්ජා ඕකට රිංගන්නේ නෑනේ.ඌට බයිසිකලයක් තියා විල්බැරක්කෙයක්වත් නෑනේ..."
"හූ...හූ...."
"අඩෝ අන්න අරූ හූ කියනවා...ඌට යකා ගහලද දන්නේ නෑ...."
"ඒ හූවනම් ටිකක් හුරුයි බං.තාත්තා ගහද්දී සජ්ජා අඩන්නෙත් ඔයවගේ හූ කිය කිය තමයි..."
"අර බලහන්කෝ ඌ හෙල්මට් එක ගලවනවා.අඩෝ ඒ සජ්ජා තමයි බං..."
"ඌ ඊයේ විතරනෙ බං ඉස්කෝලේ ආවේ නැත්තේ.එක දවසට කොහොමද ඌ ඔච්චර මහත්වුනේ...?අර බලපන්කෝ මාස 7ක බඩදරු අම්මා කෙනෙක් වගේනේ..."
"අනේ බොල වල් ඉබ්බෝ...ඒ ඌ ජැකට් එකට යටින් උගේ පොත්ටික දාගන....නොදකින් මී හරකා..."
"අම්මෝ ඇති යන්තන්...බැරි වෙලාවත් මූ බඩවෙලානම් එහෙම අපි කොහොමද මුගේ ගෙදර මිනිස්සුන්ට මූණ දෙන්නේ....දැන් තමයි මගේ ඇගට ලේ ටිකක් ඉණුවේ..."
"මූ බඩ වුනාම උඹ මොකටද මූණ හංගන්නේ....?ඒ මිනිස්සු දන්නවා උඹට එච්චර දෙයක් කරගන්න බෑ කියලා...."
"කාගෙද බං බයික් එක....?"
"කාගෙවත් ඒවා මම පදිනවද බං...මේක මගේ තමයි....ඊයේ ගත්තේ...."
"අම්මටසිරි....සිරාවට...පට්ටනේ.....උඹලෑ තාත්තා තපසටවත් යන්නද....?"
"අනේ පල හිපාටුවෝ යන්න....මේක මේ පාර පංතියේ 16 වෙනිය උනා කියලා තාත්තා මට අරන් දුන්නේ..."
"මොකා ....කී වෙනිය උනා කියලද....?යකෝ උඹලෑ තාත්තා දන්නේ නැද්ද පංතියේ ළමයි ඉන්නේ 18යි කියලා...?"
"නෑ බං.එයා හිතන්නේ අර ඉස්සර වගේම පංතියේ ළමයි 40-45ක් ඉන්නවයි කියල...."
"යකෝ බැරිවෙලාවත් මූ පංතියේ පළවෙනියා වුනොත් එහෙම තාත්තා මූට සබ්මැරීන් එකක් අරන්දෙයිනේ....වෙලාවට මූ 16 වුනේ..."
"මේ මම මෙත්න්ට ආවේ මේක උඹලට පෙන්නන්න.මම ගෙදර ලොරියේ බඩු වගයක් ගේන්න පංචිකාවත්තට යන ගමන්.මම යන්නම්.හෙට ඉස්කෝලේ ඇරිලා මේක දෙන්නම් උඹලටත් රවුමක් ගහන්න...."
"එතකොට උඹ අද පංති එන්නේ නැද්ද....?"
"නෑ බං.අද ලලන්තිත් ගෙදරනේ.ඒ පැත්තෙත් රවුමක් දාලා මේක ලලන්තිටත් පෙන්නගන යන්න ඕනනිසා මම ගෙදරට කිවුවා අද පංති නෑ කියලා..."
"හරි එහෙනම්...උඹ පලයන්...අපි හවස්වෙලා එන්නම් මළගේ පැත්තේ...."
"කාගේ මළගෙදරද...?"
"උඹේ...වෙන කාගෙද..."
"නොදකින් මූසලයා....තොපේ ඊරිසියාව මම බයික් එකක් ගත්තට....මම යනවා"
"ඒයි මේ උඹ හෙට ඉස්කෝලේ එන්නේ බයික් එකේද...?මාවත් දාගන වරෙන් හොදේ...."
"හරි එහෙනම් ලෑස්තිවෙලා හිටපන්.මම 7 වෙනකොට එන්නම් උඹලෑ ගෙවල්ගාවට"


"මොකෝ බං පයින්...අරූ ආවේ නැද්ද...?"
"නෑ බං...උදේ පාන්දර මැසේජ් එකක් එවල තිබුනා බස් එකේ එන්නේ කියලා."
"ඒ ඇයි...?මොකක් හරි අවුලක්ද දන්නේ නෑ බං....?මූ බයික් එක හප්පගනද දන්නේ නෑ...."
"අනේ මන්ද බං...ෆෝන් එකත් ඕෆ්....අර එන්නේ බල්ල මැරුන පොලිස්කාරයා වගේ....බලපන්කෝ මූණේහැටි...."
"මොකෝ බං උනේ...?කෝ බයික් එක....?"
"ඊයේ මාර වැඩක් වුනානේ බං....."
"ඇයි හැප්පුනාද....?"
"නෑ බං.....මම ලොක්ක වගේ පංචිකාවත්තේ ගිහින් බයික් එක නවත්තලා කඩවලට ගියා ලොරියේ බඩුටික ගන්න.එනකොට බයික් එකේ කණ්නාඩි දෙක උස්සලා...."
"නෑ....."
"නෑ නෙමෙයි බං....මට දෙලෝ රත්වුනා....පොඩ්ඩක්වත් දන්න එකෙකුත් නෑ...අතේ තිබ්බෙත් 1000යි ඉතුරුවෙලා.කණ්නාඩි දෙක නැතුව ගියොත් ගෙදරිනුත් බැණුම්.මම වටේ පිටේ එවුන් 2-3ගෙනුත් ඇහුවා.උන් ගනන් ගත්තෙවත් නෑ බං."
"උඹට තිබ්බේ පොලීසියට යන්න..."
"ඒ මොකටද...?අතේ තිබ්බ 1000ත් උන්ට දීලා එන්නද....?රෙද්දක් කියවන්න එපා බං...."
"ඉතින් කියපන්කෝ විච්ච දේ...."
"මම පුක්මූණ දාගන ඉන්නකොට එකෙක් ඇවිත් ඇහුවා මොකද මල්ලී සීන් එක කියල.මම ඌට ස්ටෝරිය කිවුවා.ඌ කාටද කෝල් කරල මට කිවුවා පල්සර් කණ්නාඩි 2ක් තියනවා.උස්සපු 2ක්.1000යි කියලා."
"ඉතින්..."
"අතේ තිබුනෙම 1000යි.මම ඉතින් විස්තරේ කියලා 500කට ඉල්ළුවා.මූ කැමති වුනේම නෑ බං.පස්සේ ඉතින් මොනව කරන්නද කියලා මාත් ගත්තා.මූ කණ්නඩි 2ක පෙන්නලා ඉක්මනට පත්තර කොලේක ඔතලා මට දීලා මෙතනදි දිග අරින්නත් එපා.උස්සපුවනේ කියලා ගියා"
"ඉතින් එහෙනම් අවුලක් නෑනේ...."
"හිටපන්කෝ ලබ්බෝ කියල ඉවරවෙනකම්....අන්තිමේදී එනකොට කන්නවත් කීයක්වත් නෑ අතේ.පැට්‍රළුත් ඉවරවුනා මගදී.තලාහේනේ ඉදන් ගෙදරටම බයික් එක තල්ළුකරගන ගියේ.පයින් මීටර් 100ක් යන්න බැරි මට යකඩ ගොඩකුත් තල්ළුකරන් හැතැක්ම ගානක් යනකොට තියන ආතල් එක කොහොමද කියලා හිතපන්කෝ...."
"හරි ඉතින්.කුණක් කෑවට කණ්නාඩි 2ක හම්බුනානේ...."
"හම්බුනා තමයි.ගෙදර ඇවිත් බලනකොට ඒ කණ්නාඩි 2ක මගේ තිබුන දෙකමයි බං....."
'ඒ කිවුවේ....?"
"ඊයේ අක්කගේ පොඩි එකා කණ්නාඩි දෙකේ අර පොඩි තරු ස්ටිකර් 2ක් ඇලෙවුවා.ඒ දෙක එහෙම්මම කණ්නාඩි දෙකේ තිබුනා බං.ඌ මගේ කණ්නාඩි දෙක හොරෙන් ගලවගන මටම ආපහු විකුණලා.මමනම් ආපහු ඔය හු.. අල්ලන්නේ නෑ මලාට......


කටුස්සා....