Monday, January 23, 2017

පහන් කණුව​



"මොනවද උයන්න තියෙන්නේ..."

"වැටකොලු, කරවිල, කොහිල, රාබු.... සෝයාමීට් පැකට් එකකුත් තියනවා.... කරවිල ඉවුවොත් පොඩිපුතා කන්නේ නෑ.ලොක්කි වැටකොලු කන්නේ නෑ. දෙන්නටම අද පංති.ඕවා ඉවුවොත් එහෙම දෙන්නම බත් එක විසික්කරලා බඩගින්නේ පංති යයි."

 කරවිල සම්බෝල හදලා රාබු තෙල්දාමු. ජයේටත් කරවිල හොඳයිනේ.සෝයාමීට් තුනපහ දාලා කළුවට හදනවා... ආ.... බිත්තර වගයකුත් තිබුනා නේද...මේ තියෙන්නේ... හතරයිනේ තියෙන්නේ. කමක් නෑ.ඒක මේ අයට තම්බලා දෙනවා. ගෙදර ඉන්න මට මොනවා එක්ක කන්න බැරිද... 

පොල් තියනවද දන්නේ නෑ... ජයේට ඊයෙත් මතක්කලා ගෙඩි දෙක තුනක් ලෙලි ගහලා දෙන්න කියලා. කොහේද... ඒ මනුස්සයත් නැහිලා නැහිලනේ එන්නේ. අමතකවෙන්න ඇති. පිලිකන්න පැත්තේ ලයිට් එකත් පිච්චිලා. පොඩිපුතා ටෝර්ච් එක කොහේදාලද දන්නෙත් නෑ. ඕක හොයන ගියොත් පරක්කු වෙනවා. මේ හඳ එළිය මදැයි පොල්ගෙඩියක් ලෙලි ගහගන්න. 

-------------------------- 

කෝ.... මේ අය එක්කෙනෙක්වත් ඇහැරලා නෑනේ... ලොක්කී...නැගිටින්න... බලන්න වෙලාව කීයද කියලා.... කෝ ලොකු පුතේ... චූටි පුතේ... නැගිටින්න නැගිටින්න... වෑන් එකට පරක්කු වෙයි.කෝ.... කෝ.... ලොක්කි නැගිටින්න.මූන කට හෝදන් එන්න මල්ලිලත් එක්ක. අර හොද්ද ලිපේ. මම යනවා කුස්සියට. තාත්තට එහෙම ඇහැරවන්නේ නෑ. මහන්සිවෙලා ඇවිත් ඉන්නේ. තව ටිකක් නිදාගත්තදෙන්. 

---------------

 "අම්මේ... මගේ මේස්දෙක දැක්කද? ජාති දෙකෙන් දෙකක්නේ මෙතන තියෙන්නේ' 

"බලන්න ටිකක්... අක්කගේ ඒවත් එක්ක පැටලිලා ඇති... ලොකු පුතා... අද ප්‍රැක්ටිස්ද....?" 

"අම්මේ... මේ කන්ණාඩි මේසේ උඩ තිබ්බ කොණ්ඩ කටු ටික නෑනේ..." 

"මම ඔය පෙට්ටියට දැම්මා.පෙට්ටියේ බලන්න" 

"අම්මත් හරි වැඩ තමයි කරන්නේ. මම හිතුවා ඒවා නෑ කියලා." 

"හැමදාම කියනවා ඕවා ගලවලා එහේ මෙහේ දාන්න එපා කියලා... අහනවද... නැතිවෙන්න දෙන්නයි තිබුනේ" 

"අම්මේ... කෝ මගේ කෑම එක"

 "අම්මේ.... මගේ කොණ්ඩේ ගොතන්නකෝ" 

"අම්මේ... කමිසේ යටකරලා කොණ්ඩේ පීරන්නකෝ" 

"ලොකු පුතා... අන්න වෑන් එක හෝර්න් ගහනවා... මේ දෙන්නත් එක්ක පරිස්සමෙන් යන්න"

 --------------

ඇති යන්තන්... ඒ යුද්දේ ඉවරවුනා. වීරෙව ඇහැරවලා ගිහින් මිදුල අතුගාන්න ඕනේ. ආ.... රෙදිටික පෙඟෙන්න දැම්මනම් අතුගාලා ඇවිත් හෝදන්න තිබුනා... 

"වීරේ...වීරේ... නැගිටින්නකෝ මහත්තයෝ. පරක්කු වෙයි."

 "කොහේද යන්නේ.... ඉඳගන්නකෝ මෙතනින්"

 "මම මේ මිදුල අතුගාන්න යන්න හැදුවේ"

 "ඕක පස්සේ කරන්නකෝ... ඒක නෙමෙයි.. කොහොමද මේ මාසේ ගෙවල් කුලිය ගෙවන්නේ..." 

"ඇයි...සල්ලි අඩුයිද?"

 "ඔවුනේ.... අර බලන්හිටිය ලෝන් එක හම්බුනෙත් නෑනේ තාම. ඒ මදිවට මේ මාසෙට මගුල් ගෙවල්ම 4ක් නේ..."

 "කීයක් විතර අඩුයිද?"

 "රුපියල් 4000ක් විතර අඩුයි"

 "මම දෙන්නම්..." 

"ඔයා ගාව කොහෙන්ද සල්ලි" 

"කෙල්ල කොයි වෙලාවෙද දන්නේ නැති නිසා මම ඔය කීය කීය හරි අයින්කරගත්තා . මොකෝ... කනකර පාළුවට ඇරලා කෙල්ලව නාවන්න පුලුවන්ද...මහලොකු ගානක් නෑ. රුපිල් දොලොස්දාහක් වගේ ඇති...ලෝන් එක ගත්තහම මට දෙන්නකෝ." 

"ඔයත් නැතිවුනොත් මම මොනවා කරන්නද මන්දා..."

 "හරි... හරි... දැන් නැගිටලා ලෑස්තිවෙන්නකෝ... යන්න පරක්කුවෙනවනේ" 

------------ 

"මිදුල අතුගාලා ඉවර නැද්ද තාම..." 

" නෑ අනේ... ඔයා කෑම එක ගත්තද... උදේට කෑවද...?"

 "ඒවා හරි..මේ.... ඔයාට පුලුවන්ද දවල්ට බැංකුවට ගිහින් ගෙවල් කුලී සල්ලි දාන්න...?" 

"ඇයි... ඔයාට බැරිද?" 

"බැරිකමක් නෑ... ඒ වුනාට අද cc මහත්තයගේ පැන්ශන් පාර්ටිය. ඕකට හිටියේ නැත්තන් හිතන්නේ මගෑරියා කියලා.... අනික ඉතින් ඔයත් ගෙදරට වෙලා නිකන් ඉන්න එකනේ වැඩකුත් නෑනේ.... ගිහින් දාන්න එහෙනම්. අර කණ්නාඩි මේස උඩ සල්ලි....මම යනවා"


- කටුස්සා -

Tuesday, January 10, 2017

වැළළුණු කවිකම



මම දැක්ක කුජීතම කවියා නුඹ මිතුරාන බිඳුනු පසු නෞකාව ඉතිරි සුංබුං වලින් තැනූ පහුරට නැගී මග නොදැන හාමතින් ආදරය සොයාගිය නපුරු කවියා නුඹයි දුටුව විට සා දෙනෙත නැවතිලා සීරුවෙන් දඩබිමට ගෙනවගන තනිකරලා වෑයමෙන් හාවෙකුට පෙම්කෙරුව නපුරු වෘකයා ඔබයි.... කිසිදෙයක් නොමැති නුඹ දෙස බලා ආදරෙන් තනිකමට කවි සිංදු එකින් එක මුමුණමින් ගී කියපු කිරිල්ලිය මැරුව කවියා ඔබයි හිතුමතේ පාව ගිය මල් අතර සමනලුන් වශීකර කවි පෙලින් ගෙන්වගන චාටුවෙන් තටු සිඳලා සිනාසුන කුරිරු කවියා ඔබයි..... නුඹේ හද පැතුව පෙම මුවාකර කඩතිරෙන් මිහිපිටක නොමැති පෙම අකුරුකර කවි පදෙන් අහිංසක හිත රැවටු තුච්ඡ කවියා නුඹයි සිත බැඳුනු ආදරය පිටනොකර සිටි පවින් දෙනු මිසක එනු නොමැති ආදරය දුක බැවින් අන් මලක සුවඳ පැතු වියරු දුදුනා ඔබයි..... ලංවෙන්න කීව මුත් සියවරක් මුව අගින් ලං නොවී ලඟ ඉඳන් පාළු මැකු සුරතලෙන් හිතවතිය හිත් බින්ඳ මෘග කවියා ඔබයි හමුනොවන පෙම සොයන් වෙන හිතක් පැතු බැවින් හිත තියන් ගොලු කෙරුව හිත බින්ඳ පව අරන් මැරෙනකම් දුක් විඳින ඇගේ කවියා නුඹයි.....

-කටුස්සා-

Monday, January 2, 2017

ඔබ හමුවූ දා පටන් මා හදවත අවදියෙන්..




අහම්බයක්
මේ තරම් ලස්සනවෙන්න ඕනෙද ?
මේ තරම් ආදරණීය වෙන්න ඕනෙද ?
මේ තරම් දුක හිතෙන්න ඕනෙද ? 
මේ තරම්  මතක ඉතුරුකරන්න ඕනෙද ?
හිතෙන හිතෙන වෙලාවට 
මතක්කර කර හිනාවෙන්න තරමටම ???

එක්කෝ
නෑවිත් ඉන්න තිබුනා උඹට....
බැරිමනම්
ඇවිල්ලා ගුලිනොගැහී හිටියනම්;
මගේ හිත අස්සේ
හිතේ රස්නේ ඇස් අගට නොගෙන
හිනාවෙනවනේ අදත් මම.......

අඩුමගානේ
මේ විදිහට මහ හයියෙන්
ආත්මෙම හෙල්ලිලා යන තරමටම
තට්ටු නොකර,
හිමිහිට මෘදුව
පිරිමදින්න තිබුනා මගේ හදවත....
එහෙමවුනානම්
මම තාමත් හුස්මගන්නවා
සැනසිල්ලේ........

ඔක්කොම ඉවසන්න තිබුනා....
ඒත් අර හිනාව !
රෑ තිස්සේ ඇහැරගන 
උඹගැනම හිතන්න තරම්
තවම
හිත අස්සට ඇවිත් නෑනම් තමයි.....
ඇහැරිලා බලද්දී
උඹ හිනාවෙනකොට දොරගාව
ඇත්තමයි
මිරිකන්න තිබුනා උඹව
ලඟ හිටියනම්........

හැබැයි
මේ විදිහට නොතිබුන එකමයි හොඳ
කෙලවරක් ;
අපේ කතාවට......
තිබ්බනම් ඉවරකරන්න වෙනවනේ
එක තැනකදී......
දැන් මට යන්න පුළුවන්
උඹ එක්ක අනන්තෙටම
හීන අස්සේ හැංගිලා........

උඹට තිබුනා
ටිකක් කලින් එන්න......
ආවනම් ;
මේ කවි කඳුර
අද
කවි සාගරයක් වෙලා......