Wednesday, April 19, 2017

බාඳුරා


අහස සඳ තරු හිරුත් පසකින් සිතුවිළිත් ඇත පැටලිලා
සිතේ දිය රළ රළපනාවේ වැදී පෙනකැටි විසිරිලා
කණ කෙකිනියකගේ ඇසේ කඳුලින් කුමුදු මල් පෙති මැලවිලා
රැඳෙනු බැරි දුක් වාන් දැමුවා නෙත් සොරොවුවෙන් පිටවෙලා

හීන මවමින් කඳුත් පරයා දුකක් ගැන නොසිතුව නිසා
හිතත් මෙලෙසින් ගතුකියයි අද නොතිබ්බට පොළවේ දෙපා
ආදරය නොහඳුනන හිතකින් ලැබුන ආලයේ ගිනි කකා
ලිහිනියොත් ගොලුවුනා රැයෙහිම උලලේනි ගී සුබ නිසා

නටුව මත කටු සිහිනොගෙන මල සිඹින්නට සිතුවත් එදා
කටු ඇනී ලේ ගලනවිට මල හිනාවුණි පෙරටත් වඩා
ලේ ගලන ගත දුන් රිදුම් මල සිනහ පාමුල පොඩි නිසා
තරු බැලුම් ලඟ සිත් රිදුම් මැද හිනාවුණි ලේ ගල ගලා

-කටුස්සා-



Sunday, April 16, 2017

ජීවිතේම නුඹ අරගෙන යන්න ගියා වැනි...


නුඹට මට මිටට ගෙන බැලූ කළ​ ආදරය විශ්වයකි...... අනන්තය තනි තිතකි....... නුඹත් මමත් හමුවෙද්දී ; කාලය නිමේශයකි..... මේ මොහොත මහ මෙරකි...... නුඹේ මුව, කියන විට රහසේම නුඹේ ඇස් ; මිරිගුවකි...... ජීවිතය කවි පෙළකි...... කටුස්සා...

Wednesday, April 5, 2017

ලේ නහර ඇට මිඳුලු විනිවිද රිදුම්දෙන හැඟුමක්ද ප්‍රේමය......💘




මේක ඉවරවෙන්න ඕනේ මේ විදිහටමද?

දන්නේ නෑ... ඒත් ඉවරවෙන්න ලියවිලා තිබුනේ මේ විදිහට වෙන්න ඇති

නෑ... මේ විදිහට නෙමෙයි.... එක්කෝ අපිට වැරදුනා, නැත්තම් අපි වරද්දගත්තා

ඇයි එහෙම කියන්නේ?

මම ආස නෑ මේක මෙහෙම ඉවරවෙනවට

හැම දෙයක්ම අපි කැමතිවිදිහට ඉවරකරන්න අපිට බෑනේ

මම දන්නවා ඒක. මේ කතාව පටන්ගනිද්දිම ඉවරවෙන්නේ මේ විදිහට කියලත් මම දැනගන හිටියා.ඒත් මේක තවටිකක් ලස්සනවෙන්න තිබුනා , මීට වඩා දුක අඩුවෙන විදිහට..

දුක අඩුවෙන විදිහට....? ජීවිතේ නතරවෙනවා කියලා දැන දැනම තවත් දුක අඩුවෙන විදිහක් හොයන්න ඔයාට පිස්සුද?

වෙලාවකට... අර ඔයා ඉස්සර කියනවා වගේ, හිටපුගමන් පිස්සු හැදෙනවා

ඔයා හැමදාම කලේ ඕකමයි. දැනුත් කරන්නේ ඒකමයි..... 

මොකද්ද?

හිනාවෙන එක.... ඔච්චර දුකක් හිත ඇතුලේ තියාගන ඔය විදිහට හිනාවෙන්නේ කොහොමද? ඒකත් බලෙන්.... ඒත් හොඳටම අඳුරන කෙනෙක්ට ඇරෙන්න ඒ හිනාවේ වෙනස හොයාගන්න බෑ කාටවත්... 

ඒ කියන්නේ ඔයා මාව හොඳටම දන්නවද?

ඇයි සැකයක් තියනවද ඒ ගැන?

නෑ... සතුටුයි

ඇයි ?

හොඳටම අඳුරන කෙනෙක්ගේ අතින් , අඳුරනවා කියලා කියන කෙනෙක්ගේ අතින් ජීවිතේ නතරවෙන එක කොච්චර දෙයක්ද, නොදන්න කෙනෙක්ගේ අතින් එහෙම වෙනවට වඩා

මට තියන ලොකුම දුකත් ඒකයි...

මොකද්ද?

මේ තරම් අපි අපිවම තේරුමරගන මේ විදිහට අයින්වෙන්න සිද්දවුන එකට

මේ සමුගැනීම ඇතුලේ තියෙන්නෙම අපි අපිවම තේරුම්ගැනීම නේද බට්ටෝ?

ඒ කොහොමද?

අයින්වෙන්න තීරණය කරලත් තවමත් මේ විදිහට කතාකරන්න පුලුවන්වෙලා තියෙන්නේ, මේ විදිහට යන්න දෙන්න පුලුවන්වෙලා තියෙන්නේ අපි අපිවම තේරුම්ගත්තු නිසා බට්ටෝ.මට ඔයාගෙන් ඉල්ලන්න කිසිම දෙයක් නෑ. ඔයාට මගෙන් ඉල්ලන්න කිසිම දෙයක් නෑ. ඒ අපි දෙන්නට ඕනේ හැම දෙයක්ම ඒ ආදරය ඇතුලේ තිබුන නිසා. ඉතින් ඒ ආදරය නැතිවුනාට පස්සේ අපි දෙන්නා ,අපේගැන දන්න නිසා නේද අදත් මෙහෙම කතාකරන්න පුළුවන්වෙලා තියෙන්නේ....

ඇයි අපිට මෙහෙමවුනේ....?

කේන්තිය, මගේ විතරමයි කියලා හිතන්න ගිය එක, ඕනෑවට වඩා ආදරය.... 

ඉතින් ඒ දේවල් වලට මෙච්චර බරපතල තීරනයක්?

අපි ජීවත්වෙන්නේ අපි දෙන්නා විතරක් ජීවත්වෙන ලෝකෙකනම් , ඇත්ත.... මේවා වෙන්වෙන්න හේතු නෙමෙයි. ඒත් තව ගොඩදෙනෙක් අපේ වටේ ඉන්නවා. අපි ඒ ඔක්කොමල්ලවම සතුටුකරන්න ගියහම මෙහෙම වෙනවා.....දැන් ඒක ගැන හිතන්න එපා. ඒක වෙලා ඉවරනේ. දැන් ඉස්සරහට සතුටින් ජීවත්වෙන්න. ගොඩක් කල්පනාකරලා බලලා තීරණ ගන්න. දෙපාරක් නෙමෙයි.තුන් හතර පාරක්ම හිතලා බලන්න, තීරණයක් ගන්න කලින්, ලඟ ඉඳලා කියලා දෙන්න මම නැතිනිසා.... පරිස්සමෙන් හැම දෙයක්ම කරන්න.
ඇයි දැන් අඬන්නේ.....

කෝ... මම අඬන්නේ නෑ. මම දන්නවා මේ ඉන්න මනුස්සයා මගේ කඳුලු බලන්න පොඩ්ඩක්වත් කැමති නෑ කියලා...

එහෙනම් හොඳ ළමයා වගේ ඔය ඇස්වල කඳුලු පිහගන්න..... 

ඉතින් මම හිතලා අඬනවද....කඳුලු එනවනේ....අහන්න... හිතම බරවෙලා ...හිතම නෙමෙයි... මට කියන්න තේරෙන්නේ නෑ... පපුව මැද්දෙන් ඇවිත් මුලු ඇඟ පුරාම පැතිරිලා . අනේ තේරුම්ගන්න... මට කියන්න තේරෙන්නේ නෑ

මට හිතාගන්න පුළුවන් බට්ටෝ.... මටත් එහෙම්මම වෙලා නිසා.මට කියන්න බෑ හිතන්න එපා කියලා. ඒත් මේ දේ වෙන්න දෙන්න.ඒකෙන් ඔයාට හොඳක් වෙයි. ඇත්තමයි.... විඳින්න තියන ජීවිතේ විඳවන්න ඕනේ නෑ. මම හිටිය ටික කාලෙට මම ඔයාට කියලා දුන්න ඒවා එක පාරටම අමතකකරන්න එපා.ඔලුවේ තියාගන වැඩ කරන්න. ඔක්කොටම වඩා සිහියෙන් වැඩකරන්න. කවමදාවත් ජීවිතේ වරද්දගන්න එපා . මම ඈතින් ඉඳගන බලාගන ඉන්නම්. ඉතින් මම එහෙම බලන වෙලාවට මට ආඩම්බර හිතෙන්න , සතුටු හිතෙන්න වැඩකරන්න. ඉඳලා හිටලා එක වැඩක් විතරක් කරනවද?

මොකද්ද?

ඔය එන යන වෙලාවක මාව දැක්කොත් නොදැක්කා වගේ නොයා ,මට හයියෙන් හූවක් තියනවද? හරියට නිකන් "මම හොඳින් ඉන්නවෝ..." කියන්න වගේ...

හා....

හොඳ ළමයා....



- නිමිත්ත -

මේ ගීතයේ මේ පද

කියාගන්නට බැරුව ලතවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසිදින......
ලේ නහර ඇට මිඳුලු විනිවිද
රිදුම්දෙන හැඟුමක්ද ප්‍රේමය.......
දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ...පතා ආවෙත් එළෙසමයි......