Sunday, May 14, 2017

පිපෙන්න මේ වැව තැනුවේ නුඹටයි.....



එය උමතුවකි.සත්තකින්ම එය උමතුවකි. ඇය උමතුවෙන්ම මා හට ආදරය කරන්නට පටන්ගන ඇත්තේය. මම මාගේ මුලු ජීවිතකාලය පුරාවටම කිසිවකුගෙන් නොලබුන තරමටම ඇයගෙන් ආදරය විඳිමින් සිටින්නෙමි. ඒ ආදරය ;මාගේ ජීවිතය විනිවිද යමින් ආත්මය තුල ලැගුම්ගන්නා අයුරු මම අත්විඳින්නෙමි. ඒ ආදරයෙන් ශූන්‍ය වූ මාගේ සිතුවිළි ඇයත් සමග ඈත අවකාශයේ පාවී යනායුරු සිනාමුසු මුහුණින් මම බලාසිටින්නෙමි. ජීවිතයට කිසි බරක් එක්නොකරනා ඒ ආදරය මා වෙනුවෙන්ම කැපවී සිටිනායුරු බලාසිටිමින්ම මම ආදරය ඉගනගනිමින් සිටින්නෙමි. 

එය සත්‍යක්මය.ඇයට වඩා බොහෝ සෙයින් වැඩිමහලු මාහට ඇය ආදරය යනු මෙයයැයි අකුරුකරමින් සිටින්නාය. බාලාංශ පංතියේ කුඩා එකෙකු මල් මල් සාරිය ගත දවටාගන සිනාමුසු මුහුණින් පංතියට පැමිණෙන 'ටීචර්' එනතෙක් නොයිවසිල්ලෙන් බලාසිටින්නා සේ ; මමද උදෑසනින් මා අමතන ඇයගේ දුරකතන ඇමතුම පැමිණෙනා තෙක් නියපොතු හපමින්, සයනයේ එහේ මෙහේ පෙරළෙමින් නොයිවසිලිමත් වෙමින් සිටිමි.  ඒ දුරකතනයෙන් ගලා එන ඇයගේ හඬට; ජීවිතයේ සියලු සෝ තැවුල් දියකර හරින්නට පේවී සිටින්නෙමි. 

ජීවිතයේ පැමිනි මග හමුවී ඇති පෙම්වතියන් සිහි කරන්නෙමි. කිසිඳු දිනයක තවකෙකුගේ ආදරය හා සංසන්දනය නොකරන්නෙමී'යි සිතාසිටි ඇයගේ ආදරය; රහසේම ඔවුන් හා සංසන්දනය කරන්නෙමි. ඔවු... යුවතියනේ; ඔබලා පරාද වී ඇත. ඔබලා කලෙක මට ලබාදුන් ආදරය කිසිසේත්ම බාල්දු නොකරනා නමුදු මහත්වූ තෘප්තිකර හැඟුමකින් ඔබ සියලුදෙනාටම හඬගා කිව හැකි පරිද්දෙන් ඇය මට ආදරය කරමින් සිටින්නාය. කෙටියෙන්ම පවසනවානම් මටද මා පිළිබඳව ලෝභ සිතෙනා ආකාරයට මම ; ඇයගේ ආදරයට වශීකෘත වී සිටින්නෙමි.

"සේපාලික සුවඳ අරන්
දුව එන මද නල‍
ඉම තනිව ඉන්න 
මට වාගෙම ඔබට දැනෙනවද
කවදා හරි එක නුවරක
උපදිමු පුන්සඳ......
පතාගනිමු උපදින්නට
අපි එක නුවරක..." 

අරක  මටද එවුවේ....?

නෑ...අල්ලපු ගෙදර මිනිහට....

වෙලාවට.... මටනම් බෑ...

මොනවද?

මේ කරුමේ කරගහන්න ලබන ආත්මෙත්... මටනම් බෑ 

හා...කැමත්තක් 

මොකක්...?

කැමැත්තක් කියලා කිවුවේ. මොකෝ ඉතින් මම බලෙන් මේ මිනිහව උස්සගන යන්නද මාව බැඳගනින් කියලා..

මේ.... මම කලිනුත් කියලා තියනවා ... විහිලු දන්නේ නැත්තන් විහිලු නොකර ඉමු  කියලා... රෙද්ද 

බෑ..... ආපෝ මටනම් බෑ...

මොනවද?

විහිලු නොකර ඉන්න..

බැල්ලි

දැක්කද...දැක්කද.... ඉස්සරනම් කිවුවේ බැල්ලි පැටියා කියලා...අර පස්සෙන් එන කාලේ.... දැන් කියන්නේ නිකම්ම බැල්ලි 

ආ... ඒ යාලුවෙන්න අහන කාලෙනේ... ඒ කාලේ තෝ කැමත්ත දීලා තිබ්බේ නෑනේ... ඒවා එහෙම තමයි. බැන්ඳට පස්සේ කියන්නේ වල් බැල්ලී කියලා 

කියපියකෝ බලන්න... හපනවා කට

යකෝ... වෙන ගෑනුනම් කට කනවා. මේකි හපනවා. යස්සනියෙක්ද කොහේද...

එහෙම තමයි අපි.... කියන්නකෝ... මාව මතක්වුනේ නැද්ද අද? 

නෑ...අල්ලපු ගෙදර අක්කවනම් මතක්වුනා 

ඔවු..ඔවු... මම දන්නවා. අපි මොක්කුද මෙයාට මතක්වෙන්න...මේ ඒයි... අහන්නකෝ...

ඇය හා මා අතර සම්බන්දයේදී "ඒයි" සහ "බැල්ලි පැටියා" යන වදන් අතර තිබුනේ කිසිදා නොබිඳිය හැකි සම්බන්දයකි. ඇයට බැල්ලි පැටියෝ කියා මා අමතන්නට පුරුදූ වූවේ ඇයිද කියා මම නොදන්නෙමි. මට ඒයි යනුවෙන් අමතන්නට පුරුදුවුනේ ඇයිද බව ඇයද නොදන්න බව මම ඉඳුරාම දනිමි. ඇය හා කතාකල මුල් දවස්වල සිටම ඒ කතාවේ හෘදයාංගම ඉසවුවලදී ඇය හා මම  එකිනෙකා ඇමතුවේ එසේය. කෙටියෙන්ම පැවසුවහොත් ඇයව සිතට දැනෙන්න , ඇයට ආදරය කරන්නට පෙර සිටම අපි එකිනෙකා ආමන්ත්‍රනය කලේ එම නම්වලිනි. ඇය එවු වෙසක් සුබපැතුම් පතක පවා ඇය ලියා එවා තිබුනේ බැල්ලි පැටියා විසින් ඒයි වෙත යනුවෙනි. 

කියන්නකෝ....

මාව දාලා යන්නවුනොත් මොකද එදාට ඔයා කරන්නේ....?

මොකෝ බට්ටෝ අමුතුවෙලා අද? හිත බරවෙලා වගේ කතාකරන්නේ...

මම අද සිංදුවක් ඇහුවා. ඒක අහපුවෙලාවේ ඉඳලා මට දුක හිතුනා... ඔයා ගැන..

මොකද්ද සිංදුව?

දිවුල්ගනේගේ.... කොහේ හෝ ඔබ නතරවී

දුක හිතන්න එපා... තේරුනාද? උඹ කවමදාවත් මගේ නොවුනට මම උඹ එක්ක තරහාවෙන්නේ නෑ...

මම ඒක දන්නවා...ඒ නිසාම තමයි මට දුක හිතුනේ...

ඒවා මම බලාගන්නම්. දැන් ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න.

දන්නවද ඒයි.... මේක මට බරක් නෙමෙයි. ජීවිතයක් වුනහම මෙහෙම බරකුත් තියෙන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ සම්පූර්නයි කියලා හිතන්නේ. ඔයාට පිං මට එහෙම ජීවිතයක් දුන්නට. ඒ වගේම මාව මෙහෙම තේරුම්ගන්නවට. ඇත්තමයි ඒයි. ඒ ගැන කියන්න මට වචන නෑ. වෙලාවකට හිතෙනවා මම ඉමෝශනල් වෙනවා වැඩියිද කියලත්.....

අහන්නකෝ බැල්ලි පැටියෝ... ඉමෝශනල් වුනාට කමක් නෑ. ඒ තමයි ආදරය. ඒත් ඒ ඉමෝශනල් ගතිය ඇතුලේ යකඩ හිතකුත් තියාගන්න. තේරුනාද?

මම එහෙම මල්පෙත්තක්ම නෙමෙයි. මට පුලුවන් ඒවා දරාගන්න.

ඒකනේ.... මම දන්නවනේ. මේ ගමන ලේසියෙන් යන්න පුලුවන් ගමනක් නෙමෙයි. අපිට ගොඩක් දේවල් විඳගන්න වෙයි. ඇස්වල කඳුලු නැතුව අපි ඒවා විඳගමු.

ඔයා සතුටින් නේද  මා එක්ක? ගොඩක් සතුටින්ද? නැත්තම් බරක් එක්ක සතුටින්ද?

ගොඩක් සතුටින්, ලොකු බරක් එක්ක. හැබැයි ඒක ආස හිතෙන බරක්. මොලේ කිතිකැවෙන බරක්. මගේ ලඟ ඉන්නකම් ඇස් දෙක වගේ බලාගන්නම්. එච්චරයි මම දන්නේ.

මම ඒක දන්නවා ඒයි... මොනවාවුනත් හිනාවෙලා ඉමු. අන්තිම වෙනකම්ම...

එහෙනම් මට හැමතිස්සෙම බඩට බර්... ගාන්න වෙයි..

නෑ...නෑ...විහිලුකතා වලට හිනාවෙන්නත් දන්නවා මම. තව සීරියස් තැන් වලදී,අනවශ්‍ය තැන් වලදී හිනාවෙන්නත් දන්නවා .

මම සීරියස් මොනවාහරි කියද්දී හිනාවියන්කෝ බලන්න. කට අතුල්ලනවා ගලක  මෙහෙම හිටියට මම හරි සැරයි.

මමනම් බයවෙයි.... මම දන්නවනේ මේ මිනිහාට හොඳින් කිවුවොත් ඕනේ දෙයක් කරනවා කියලා.ඉතින් මම බය නෑ. මට තියෙන්නේ චුට්ටක් ඇදලා පැදලා බටර් ටිකක් ගාන්න විතරයි. එතකොට කරෙත් යන්න පුලුවන් මට.

බැල්ලි...බර කීයද බං උඹේ?

61යි. ඇයි? 

කරුමේ... කරුමේ...ඉතින් බලහන්කෝ කිලෝ හැටක අල මල්ලක් කරේ තියාගන මැරෙනකම් ඉන්නවෙනවා කියන්නෙම මොන කරුමයක්ද ඒ මිනිහගේ.... කමක් නෑ. ගෙවන්න තියන පවු මේ ආත්මෙම ගෙවලා ඉවරවුනහම හොඳයිනේ. ලබන ආත්මෙදී මේ දරහැව වෙනුවට ලස්සන කෙල්ලෙක්ව යාලුකරගන්න පුලුවන් . ඇයි.. ඇයි හිනාවෙන්නේ?

ඇයි ඇයි මොකෝ....? මේ පේන්න හිනාවුනාට ලඟ හිටියනම් මරාගන කනවා. මම හරක් මස් කන්නේ නැතිනිසා නිකම් ඉන්නවා.

යකෝ .... මේකි බලපන්කෝ. දැන්ම කතාකරන්නේ හරකා කියලනම් තව ටික කාලයක් ගියහම මොනවා නොකියයිද?

මොනවා කිවුවත් මමනේ ඒයි. මොනවා වෙනවද ඒකට?

ඒ විදිහටම හැමදාම හිතනවද?

කොහොමද?

දැන් ඔය කියපු විදිහටම.... අපි දෙන්නා අපේ විතරමයි කියන විදිහටම

දෙපාරක් හිතන්නේ නෑ ලොකූ.... මම මැරෙනකම්ම හිතන්නේ ඒ විදිහටම තමයි. අවිශ්වාසයක් තියාගන්න එපා. 

එහෙනම් මමත් පොරොන්දුවක් දෙන්නම්.

මොකද්ද?

ඔයා මගේ වුනත්  නැත්තත් ඒ ඔයාට දුන්න ආදරේ, හැමදාටම ඔයාටම වෙන්වෙලා තියෙයි. එච්චරයි. ජීවිතේ මොන ප්‍රශ්නයක් ආවත් , ඒ ආදරේ ගැන හිතලා සැනසෙන්න. තේරුනාද?

ඕ.....

හම්ම්.... එහෙනම් යමු. මම වැඩට යන්නත් ඕනෙනේ. 

හා...යමු...මේ ඒයි...?

මොකද ඊරියේ?

මට ආදරෙයිද?

ඕ....

කොච්චරක්ද...?

අබ ඇටයක් විතර 

ආපෝ.... හොඳටම මදි 

ආදරෙයි බං උඹට.... අහස් 35ක් විතර .

ඒත් මදි...කමක් නෑ. ඊයේ කිවුවේ අහස් 34යි කියලනේ. අද තව එකක් වැඩිවෙලා. මෙහෙම ඉන්නකොට තව තව වැඩිවෙයිනේ.  මට පුලුවන් ඉවසන්න.

පල යන්න බැල්ලි.... මාව ලෝභ කරවලා මෙතන කියව කියවා ඉන්නකොට මම එපැයි ඔෆිස් එකෙන් බැනුම් අහන්න. අපි යමු....

යමු...යමු... පරිස්සමෙන් යන්න ඒයි.

ඔයත් පරිස්සමෙන් ඉන්න බැල්ලි පැටියෝ. දවල්ට කතාකරන්න.

ටටා......

ටටා......

සෙනෙහස උතුරා වාං දමන කොට
සොරොව්වෙ දොරගුළු වහන්නෙ කොහොමද
මා හද වෑ බඳ නම් රලපනාව
උසුලන බර නුඹ නොදනියි මිහිරිය.....


අතුරා දිය රැළි පාවඩ සීතල
මග සරසා ඇත නුඹ පිළිගන්නට
පිපෙන්න මා හද වැවේ ගැඹුරු තැන
සියපත ඉඳුවරයක් ලෙස දෙව්දුව......

නියඟය නොඑනා බව නම් සත්තයි
වෑ බඳ මහමෙර පරදන සවියයි
වැව් දිය බර රලපනාව උසුලයි
පිපෙන්න මේ වැව තැනුවේ නුඹටයි.....




කටුස්සා....

Tuesday, May 9, 2017

නිවන



මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳ​ක්, පැවදිරුවක් කළකිරෙනවද? කළකිරුනද? කෝටුවුන අත්පා ය සිතේ හයියෙන් සැලෙන දරුපැටවු කුසගින්න නිවාඩුව උදුරුවන කම්හලට මහමගට ජීවිතය සින්නවෙන දිවියෙ සිරකරුවෙලා හොයමු තව නිර්වාන කුණුකඳුත් හිසමත්තේ සුවඳ සිත පිනායන වැලලිච්ච එවුන් ගැන එකෙක් නැත සිහිකරන මැයි රැලිය පුරවාපු ඔලු ගෙඩිම නිති ගණින රටට මොන රෙද්දටද වෙසඟේ නැගි සඳපාන පඳුරකට ගැහුවොතින් ඇමතිලා වීසිවෙන කන්න නැති කතිර ඇති හරක්මය සියලු තැන පැරදිච්ච පිලේ සිට වදනින්ම රට හදන පෙරේතම අමනුන් ය​ හැම තැනම ගිනි තියන ගර්ජනය තර්ජනය උපවාස සෑම තැන රාත්තල නොමැතිනම් වර්ජනය සිත පිනන බර වැඩිම යුතුකමට යටවිච්ච වගකීම අතරමැද ඇඹරිච්ච මිනිසුන්‍ ය පණ යදින මහලු ලෙඩ පණ අදින පැවදි රූ ගිනිගන්න දෙමළ මුස්ලිම් සිහළ බෙදන වැට ඉනි බඳින රට විරුවෝ උණු වතුර කොඳු දිගේ වැක්කෙරුන ගෙදර එන විට කටින් හදන ප්‍රතිපත්ති මන ඉපදිච්ච දා ඉඳන් කළකිරුණ දේ දකින මිනිස්සුත් සොයනවා පෙරනිමිති නිවන්‍ යන කටුස්සා...